2022 නොවැම්බර් 13 වන ඉරිදා

ඇමෙරිකාවේ ඡන්දය : පක්ෂ සටන කරට කර!

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 90

ඇමෙරිකාවේ 118 වැනි කොංග්‍රසයේ සංයුතිය තීරණය කරනු ලබන මධ්‍ය කාලීන ඡන්ද විමසීම මේ දිනවල පැවැත්වේ. 2020 එක්සත් ජනපද ජන සංගණනය අනුව පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහිදී කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් මන්ත්‍රීවරුන් 435 දෙනකු, සෙනට් සභිකයන් 35 දෙනකු, ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් හා ප්‍රාන්ත ලේකම්වරුන් තෝරා පත්කර ගැනීම බලාපොරොත්තුවයි. මේ මධ්‍ය කාලීන ඡන්ද හටන බලයේ සිටින ජනාධිපතිවරයාගේ නායකත්වයේ සාර්ථකත්වය පිළිබඳ ජන මතය විමසා බැලීමක් ලෙස ද සැලකේ. 

පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට බයිඩන් ජනාධිපතිවරයා අයත් ඩෙමොක්‍රුටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර කරට කර තරගයක් බවට මේ ඡන්දය පත්ව තිබුණි. එය තදින්ම දක්නට ලැබුණේ සෙනේටය තුළය. ඇතැම් පූර්ව සංගණන මගින් ද  ඇස්තමේන්තු කර තිබුණේ රිපබ්ලිකානුවන්ට පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක්   ලැබීමෙන් ඡන්දය අවසන් විය හැකි බවටය. එය සනාථ වන ලකුණු අවසන් මොහොත තෙක්ම ඉදිරිපත්ව තිබුණි. මේ ඡන්ද දෝලනය පෙන්වා දෙන්නේ අමෙරිකාවේ 46 වැනි ජනාධිපති ජෝ බයිඩන් හට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගැනීම සඳහා සහයෝගය ලබාගැනීම පහසු කටයුත්තක් නොවන බවටය.