2022 ජුලි 31 වන ඉරිදා

ආර්ථික අර්බුදය ලොව පුරා රටවල මහ පුටු පෙරළයි!

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 90

සමස්ත ලෝකයම මේ වනවිට මහා ආර්ථික අලකලංචියකට මැදිව සිටියි. මේ නිසා බොහෝ රටවල ජනතාව දැන් කන්න බොන්න ඉල්ලා මහ පාරට බැස හමාරය. ඒ නිසාම රටවල් ගණනාවක මහ පුටු පෙරුළී අලුත් පාලකයෝ ඒ තැනට යමින් - එමින් සිටිති.

කියුබාවේ වසර 1959 විප්ලවයෙන් පසු සිදු වූ විශාලතම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය මේ වනවිට පැවැත්වෙමින් තිබේ. උද්ධමනයෙන් දැඩිව පීඩාවට පත් කියුබාවේ ජනතාව එරට කොමියුනිස්ට් රජයට සහ ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටිති. ජීවන වියදම් ඉහළ යෑම, ආහාර හිඟය සහ විදුලිය කප්පාදු කිරීම් හේතුවෙන් කියුබාවේ දහස් සංඛ්‍යාත ජනතාව මේ විරෝධතාවට එක් වී සිටින්නේ දින ගණනාවක සිටය.

ඉතාලියේ බලශක්ති හා ආහාර පිරිවැය අධික වීම හේතුවෙන් හටගත් ආර්ථික හා සමාජ අර්බුදය හිස එසවීමෙන් ඉතාලි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියහ. රටේ උද්ධමනය ඉහළ යෑමෙන් පසු ජනතා විශ්වාසය රුක ගැනීමට එරට අගමැති මාරියෝ ඩ්‍රුගී අසමත් වීමෙන් පසු ඔහු ඉල්ලා අස්විය. මේ නිසා හදිසි මැතිවරණයකට ඉඩ සලසමින් ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව දැන් ඉතාලි මහ මැතිවරණය සැප්තැම්බර් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රියාවේ උද්ධමනය ඉන්ධන, ආහාර සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යාමෙන් වසර 47කට පසුව ඉහළම මට්ටමකට ළඟා වී ඇත. මේ නිසා එරට ජන ජීවිතය බිඳවැටීම වළක්වාලමින් ඔස්ට්‍රියා රජයට සියලු පුරවැසියන්ට යුරෝ 500 බැගින් පිරිනැමීමට සිදුව තිබිණි.

එස්ටෝනියාවේ ද ආර්ථික අර්බුදය හේතුවෙන් බිඳවැටුණු සුළුතර රජයේ අගමැතිනිය කජා කලස් ඉල්ලා අස්වූවාය. නමුත් පසුව නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව ඇය පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක් සමඟ එක්ව නව සභාග රජයක් පිහිටුවීමට සමත් වූවාය. කජාගේ නව රජයට ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇත.