2022 මැයි 01 වන ඉරිදා

ඉන්දියාවේ බිලියනයක් ගිනි රත්වෙයි!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 168

ඉන්දියාව මාස ගණනක් අධික උණුසුමෙන් පීඩා විඳින අතර මේ සතියේ එය වඩාත් ඉහළ ගොස් ඇත. ජීවිත තර්ජන ඇති කිරීමට තරම් ප්‍රබල වන උණුසුම් තාප තරංග මෙවර සාමාන්‍යයෙන් පැමිණෙන කාලයට වඩා මාසයකට පෙර ඉන්දියාවට පැමිණ, උෂ්ණත්ව වාර්තා කඩිනමින්ම බිඳ දමමින් තිබේ.

මේ වනවිට ඒ ඉහළ අගයන් ෆැරන්හයිට් අංශක 100 (සෙල්සියස් අංශක 38) දක්වා ළඟා වී ඇති අතර එය තවදුරටත් වඩාත් උණුසුම් වනු ඇති බව සැකකෙරේ. ආන්තික දේශගුණ විශේෂඥයෙකු වන ස්කොට් ඩන්කන්ට අනුව, ලෝක ජනගහනයෙන් 10%ක්  වන බිලියනයකට අධික ජනතාවක් මේ ගිනි රස්නයට ගොදුරුවන්නට නියමිතය.

ඉන්දියාවේ නගරයක් වන බාර්මර් අඟහරුවාදා සෙල්සියස් අංශක 45.1ක ඉහළ උෂ්ණත්වයක් - (ෆැරන්හයිට් අංශක 113 ක) දැනටමත් වාර්තා කර ඇත. දේශගුණික ආන්තික තත්ත්ව පිළිබඳ විශේෂඥයෙකු වන මැක්සිමිලියානෝ හෙරේරා පවසන පරිදි, එදිනම, පකිස්ථානයේ දුම්රිය ස්ථානයක් උතුරු අර්ධගෝලයේ ෆැරන්හයිට් අංශක 116.6ක් වූ (සෙල්සියස් 47ක්) ඉහළම උපරිම උෂ්ණත්වයේ වාර්තාව සම කළේය.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට (IMD) අනුව 2022 මාර්තු මාසයේදී වාර්තා වී ඇති ඉන්දියාවේ සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සමස්තයක් ලෙස පසුගිය වසර 122 තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වේ. මෙම වසරේ මාර්තු මාසයේ උෂ්ණත්වයේ සාමාන්‍යය ෆැරන්හයිට් අංශක 91.58 (සෙල්සියස් 33.10) වූ අතර, එය 2010 වසරේ ෆැරන්හයිට් අංශක 91.56 (සෙල්සියස් 33.09) ක්වූ පෙර උෂ්ණත්ව වාර්තාව යන්තම් පන්නා ඇත.

කෙසේ වුවද උතුරු සහ වයඹදිග ඉන්දියාව මෙන්ම පකිස්ථානයේ සමහර ප්‍රදේශ හරහා සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 10-15 (සෙල්සියස් අංශක 5-8) දක්වා ඉහළ උෂ්ණත්වයක් සහිත දරුණුතම තාප තරංගය මෙම සති අන්තයේ සිට අපේක්ෂා කෙරේ.