2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ජෝ බයිඩන්ගේ යුද අනාවැකිය!

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 277

රුසියාව තව නොබෝ දිනකින්ම යුක්රේනය ආක්‍රමණය කරනු ඇකි බවට ජෝ බයිඩන් ඉකුත් සතියේ අනාවැකියක් පළ කළ අතර එය යුක්රේන බලධාරින් දුටුවේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් හැටියටය. පුටීන්ට ආක්‍රමණය සඳහා උඩගෙඩි දීමක් හැටියටය.

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම බුද්ධි තක්සේරු වාර්තාවට අනුව රුසියාව දැන් 127,000 කට වැඩි භට පිරිසක් එම දේශසීමා කලාපය තුළ යොදවා ඇත. යුක්රේනය විශ්වාස කරන්නේ සිය රටට අතපෙවීම මගින් රුසියාව යුරෝපීය සංගමය සහ නේටෝව දෙකඩ කර දුර්වල කිරීමට උත්සාහ කරන බවයි.

රුසියාවේ මෙම ක්‍රියාව යුරෝපීය මහාද්වීපයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ එක්සත් ජනපදයේ හැකියාවන් සීමා කිරීම අරමුණු කර ගෙන ඇති බව එම බුද්ධි තක්සේරු වාර්තාවට තක්සේරුව අවධාරණය කරයි.

නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් 35,000 කට වැඩි පිරිසකට රුසියාව සහාය දක්වන බවත්  කැරලිකාර භූමියේ හමුදා නිලධාරීන් 3,000 ක් පමණ සිටින බවත්  නව තක්සේරුව පවසයි. ඊට පිළිතුරු ලෙස නැගෙනහිර යුක්රේනයේ සිය හමුදාවක් ඇති  බව මොස්කව් ප්‍රතික්ෂේප කර තිබුණි.

යුක්රේන හමුදා බුද්ධි අංශ පැවසුවේ රුසියාව සිය මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලින් තම බටහිර දේශසීමා වෙත ''ස්ථිර පදනමක් මත'' හමුදා යොදවා ඇති බවයි. යුක්රේනයට අනුව  දෙසැම්බර් අවසානයේ සහ ජනවාරි මාසයේදී රුසියාව "පතොරම් තොග, ක්ෂේත්‍ර රෝහල් සහ ආරක්ෂක සේවා" දේශ සීමාවට ගෙනයාම ප්‍රහාරක මෙහෙයුම් සඳහා සූදානම් වීමකි.

ජනවාරි මැද වනවිට, තක්සේරු වාර්තාවට  අනුව, යුක්රේනය අසල ඉස්කැන්ඩර්  මිසයිල විදින 36 ක් ද මානා තිබුණි. මෙම Iskander මිසයිල වලට කිලෝමීටර් 500-700 (ආසන්න වශයෙන් සැතපුම් 310-430) ඈතින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි අතර  යුක්රේන අගනුවර වන Kyiv ඇතුළු මර්මස්ථාන ඉලක්ක කළ හැකිය. මෙම යුක්රේන  බුද්ධි ලේඛනය අනතුරු ඇඟවූයේ ක්‍රෙම්ලිනයේ ප්‍රධාන සහචරයෙකු වන බෙලාරුස් හි   උතුරු මායිම දිගේ නව  යුදමය  ඉදිරි පෙළක් දැන් මතුවී ඇති බවටය. 

එක්සත් ජනපද නිලධාරීන් පවසා ඇත්තේ යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් ඉදිරි මාස හෝ දෙක තුළ ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බවයි.

යුක්රේනයේ හිටපු ජනාධිපති Petro Poroshenko   "පුටින්ට එරෙහිව මුළු ලෝකයම එක්සත් විය යුතු" බවත්, යුක්රේනයට නේටෝවට බැඳීමට ඉඩ දිය යුතු බවත් ඉල්ලා තිබුණි.

ඔහු  2014 සිට 2019 දක්වා යුක්රේනයට නායකත්වය දුන් අතර, රුසියාව ආක්‍රමණය කර ක්‍රිමියාව ඈඳා ගැනීමෙන් ටික කලකට පසු බලය ලබා ගත්තේය. ඔහු 2019 ජනාධිපතිවරණයේදී වත්මන් Volodymyr Zelensky විසින් පරාජය කරන ලදී.

පුටින්ට එරෙහිව “ජාත්‍යන්තර සහයෝගීතාවය සහ එකමුතුකම තිබීම අත්‍යවශ්‍ය” බව පොරොෂෙන්කෝ පැවසීය, බටහිර සහචරයින් රුසියානු නායකයා විශ්වාස නොකළ යුතු බවද ඔහු කියයි. 56හැවිරිදි ඔහු රුසියාවට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක වැඩි කරන ලෙස ද ඉල්ලා තිබුණි. ''අපි රුසියාව දුර්වල කරන්න ඕන. රුසියාව දුර්වල කරන්න, සම්බාධක හරහා අපිට ඒක කරන්න පුළුවන්. අපි යුක්රේනය ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම දවසින් දවස අපට නව ඵලදායී ආරක්ෂක මාරක අවි ලැබිය යුතුයැයි, ඔහු පැවසීය. නමුත් දැන් බයිඩන්ගේ ප්‍රකාශය මගින් යුක්රේනයේ බටහිර හිතවතුන්ගෙන් ලැබෙන අතහිත පිළිබඳ විශ්වාසය පලුදු වී හමාරය.

යුක්රේන බෝඩරය ඔස්සේ මේ පෙල ගැසෙන්නේ තවත් ලෝක යුද්ධයක ආරම්භයද? යන්න ගැන බටහිර මාධ්‍ය විචාර මගින් මේ වනවිටත් සැක මතුකර තිබේ.