2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

මිනිත්තු 85ක අමෙරිකානු ජනාධිපතිනිය!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 135

මිනිත්තු 85කට අමෙරිකාවේ ජනාධිපති වන්නට ඉන්දීය සම්භවයක් සහිත උප ජනාධිපතිනි කමලා හැරිස් සමත් වූවාය. ඒ අනුව ඇය අමෙරිකාවේ ජනාධිපති ධුරයේ බලතල හොබවන්නට හැකි වූ පළමු කාන්තාව බවට පත්වූවාය.

මේ‌ අන්දමට අමෙරිකානු ඉතිහාසයේ ඉහළම තනතුරකට පත් පළමු කාන්තාව ලෙසටත්, අමෙරිකාවේ උප ජනාධිපති තනතුරට පත් පළමු කාන්තාව, මෙන්ම අමෙරිකාවේ උප ජනාධිපති තනතුරට පත් පළමු අප්‍රිකානු - අමෙරිකානුවා ලෙසටත්, පළමු ආසියානු -අමෙරිකානුවා හැටියටත් කමලා හැරිස්ගේ නම ඉතිහාසයට  එක්විය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් මිනිත්තු 85 කට සිය ධුරය පසුගියදා කමලා හැරිස් වෙත පවරනු ලැබීය. ඉකුත් 20දා සිය 79 වැනි උපන්දිනය සැමරූ බයිඩන්, තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වූ පළමු අවස්ථාව මෙය විය. කොලනොස්කොපි පරීක්ෂණයට මුහුණදීම සඳහා ජනාධිපති බයිඩන් මේරිලෑන්ඩ්හි වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් වී තිබේ.

ඒ අනුව 57 හැවිරිදි කමලා හැරිස් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හෙබවූ පළමු කාන්තාව බවට පත්වූවාය. ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස්ට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ බලතල මේ සමඟ හිමිවය. ඒ අනුව මුළු ලොවම අනාගතය ඇය අතේ තිබුණු අවිනිශ්චිත කාලයකි ඒ.

කමලා හැරිස්  ඉපදුණේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ්වලදී. 1964 ඔක්තෝබර් 20 වැනිදාය. කමලා හැරිස්ගේ දෙමාපියන් උපතින් අමෙරිකානුවන් නොවෙති. ඇගේ පියා ඩොනල්ඩ් ජේ. හැරිස් ජැමෙයිකානුවෙකි. ඔහු ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඇගේ මව ශ්‍යාමලා ගෝපාලන් ඉන්දියානුවෙකි. තමිල්නාඩුවේ උපන් ඇය ඇය ජීව විද්‍යාඥවරියක් වගේම පිළිකා රෝගය පිළිබඳ පර්යේෂිකාවක් විය. ඇය අමෙරිකාවට පැමිණ තිබෙන්නේ 19 හැවිරිදි වියේදීය. කමලා හැරිස්ගේ බාල සොයුරිය මායා ලක්ෂ්මි හැරිස් නීතිඥවරියක් මෙන්ම ලේඛිකාවක් ලෙසද කටයුතු කරයි.

ඉන්දීය සිවිල් සේවයේ නිරතව සිටි සිය මවගේ පියා වන පී.වී. ගෝපාලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ අදහස්, තම සිතුම් පැතුම් වෙනස් කරන්නට බෙහෙවින් බලපෑ බව කමලා කියා තිබුණි.

දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරමින් 1986දී අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ කමලා හැරිස්, පසුව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හේස්ටින්ග්ස් කොලේජ් වෙතින් නීති උපාධියක් ලබාගත්තාය. නීතිඥවරියක ලෙස ක්‍රමයෙන් සිය වෘත්තිය ජීවිතයේ හිනිපෙළ නඟින ඇය, 2003 වසරේ දී සැන් ෆ්‍රැන්සිස්කෝහි දිස්ත්‍රික් නීතිපති පදවියට පත්වුණි. පසුව 2011 සිට 2017 දක්වා ඇය කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස කටයුතු කළාය.

ඒ අනුව ආ දිගු ගමනකින් පසුව 2021 ජනවාරි 20 වැනිදා පැවති අමෙරිකාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයේදී, ලෝක බලවතාගේ ප්‍රධාන සහායිකාව වන්නට 56 හැවිරිදි කමලා හැරිස්ට හැකිවිය. ඇය විනාඩි 85කට ලෝකයේම අනාගතය අතට ගන්නට සමත් වූයේ එලෙසිනි.