2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ඇෆ්ගනිස්ථාන දරුවෝ සාගතයට බිලිවෙති

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

පසුගිය කාලසීමාව පුරා පැවති ගැටුම් සහ පසුව පැමිණි තලිබාන් පාලනයේ අස්ථාවර ස්වභාවය හේතුවෙන් මේ වන විට ඇෆ්ගනිස්ථානය පුරා දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ නිසි ආහාර සහ පානීය ජලය නොමැතිව ඇෆ්ගනිස්ථානයේ දරුවන් කුසගින්නේ මිය යාමයි. එරට ගෝර් පළාතේ පමණක් මන්දපෝෂණය හේතුවෙන් ළමුන් 300ක් පමණ රෝහල් ගත කර ඇති බවත් ඉන් 17 දෙනකු මියගිය බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මුල්ලා මොහොමඩ් අහමදි සදහන් කර තිබේ. 

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ රෝහල් ගත නොකළ මන්දපෝෂණය වැළඳුණු ළමුන් සහ ඉන් මියගිය ළමුන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවයි.

දැන් පවතින අස්ථාවර තත්ත්වය හමුවේ ආහාර, පානීය ජලය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා එරට සාමාන්‍ය වැසියන්ට ඉතා දුෂ්කර වී ඇත. මේ පසුබිම තුළ කුඩා දරුවන් මෙන්ම මහලු තැනැත්තන්ද මහත් දුෂ්කරතාවයකට ලක්ව සිටින අතර   අන්තර්ජාතික සහන කණ්ඩායම් කියන ආකාරයට රැකවරණය සැපයීමට ඇති නොහැකියාව හේතුවෙන් කුඩා දරුවන් විකිණීමේ සිදුවීම් පවා වාර්තා වී තිබේ.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ විදුලි සැපයුම ද සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ තර්ජනයකට ලක්ව තිබේ. ඒ එරටට අවශ්‍ය විදුලියෙන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන තජිකිස්ථානය, උස්බෙකිස්ථානය, ටර්ක්මේනිස්ථානය සහ ඉරානය වෙත ඒ වෙනුවෙන් ගෙවීමට ඇති ඩොලර් මිලියන 55ක පමණ මුදලක් නොගෙවීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ එළඹෙන ශීත කාලයේදී ඇෆ්ගනිස්ථානයේ දැනට පවතින මානුෂීය අර්බුදය තවදුරටත් දරැණු වනු ඇති බවට වාර්තා පළවී තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00