2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ලොව වයස්ගතම නිවුන් සොහොයුරියෝ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

ජපානයේ යුමෙනෝ සුරියාමා සහ කෞමේ කොඩාමා නිවුන් සොහොයුරියන් දෙදෙනාගේ වයස අවුරුදු 107යි දින 300කි. දැන් මෙය ගිනස් ලෝක වාර්තාවකි.

යුමෙනෝ සුරියාමා සහ කෞමේ කොඩාමා 1913 වසරේ නොවැම්බර් 5 වැනිදා ජපානයේ ශෝදොෂිමා දිවයිනේදී උපත ලබා තිබේ. මේ වනවිට එම නිවුන් සොහොයුරියන් දෙදෙනා ජපානයේ පළාත් දෙකක වැඩිහිටි නිවාසවල ජීවත්වන අතර ඔවුන්ට හිමි ගිනස් වාර්තා සහතික ගිනස් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලබාදී තිබුණි. යුමෙනෝ සුරියාමා සිව්දරු මවක් වූ අතර කෞමේ කොඩාමාට දරුවන් තිදෙනෙක් සිටි බව වාර්තාගතය.

මේ දෙදෙනා අභිබවා ගොස් ඇත්තේ ජපනයේම කින් නරීටා සහ ජින් කානී තබා තිබූ වාර්තාවකි. කින් නරීටා සහ ජින් කානී 2000 සහ 2001 වසරවල ජීවිතක්ෂයට පත්වුණි. ඉන් ජින් මුලින්ම මියගිය අතර ඒ වනවිට වයස සඳහන් වූයේ අවුරුදු 107යි දින 175ක් ලෙසිනි.

ලොව වැඩිම වයසක් ජීවත්වන මිනිසුන් සිටින රට ලෙස ජපානය දැක්විය හැකි අතර එරට වැඩිහිටි ජනතාවට සමාජයේ ඇත්තේ ඉහළ ගෞරවයකි. ගිනස් වාර්තා අනුව මේ වනවිට ලොව වැඩිමහල්ම පුද්ගලයා ජීවත් වෙන්නේද ජපානයේය. ඒ වයස අවුරැදු 118ක් වන කානේ ටනාකා නම් කාන්තාවකි.