2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

BRICS නායක සමුළුවත් online

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 75

මෙවර BRICS රටවල නායකයන්ගේ සමුළුව පැවැත්වුණේද මාර්ගගත (online) ක්‍රමයටය. සැප්තැම්බර් 09 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙවර බ්‍රික්ස් (BRICS) සමුළුවේ තේමාව වූයේ අඛණ්ඩතාව, තහවුරු කිරීම සහ සම්මුතිය සඳහා බ්‍රික්ස් අභ්‍යන්තර සහයෝගීතාවය යන්නයි. වසර ගණනාවක සිට ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම වූයේ බ්‍රික්ස් රටවල්ය.

බ්‍රික්ස් (BRICS) යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවල දේශපාලන හා ආරක්‍ෂක, ආර්ථික හා මූල්‍ය හා සංස්කෘතික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට පිහිටුවා ගත් සංවිධානයකි. බ්‍රික්ස් (BRICS) යනු ලෝක ජනගහනයෙන් 41%ක් ද ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 24%ක් ද ලෝක වෙළඳාමේ 16%කට වැඩි කොටසක්ද ඇතුළත්ව ලෝකයෙන් නැඟී එන ප්‍රධාන ආර්ථිකයන් එකට ගෙන එන වැදගත් සමූහයකි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ (Narendra Modi) මූලිකත්වයෙන් පැවැති  මෙම බ්‍රික්ස් (BRICS) නායකයන්ගේ හමුවට බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ (Jair Bolsanaro), රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් (Vladimir Putin), චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) යන රාජ්‍ය නායකවරුන් සහභාගිවීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රික්ස් (BRICS) සමුළුවේ මුලසුන දරණ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔහු 2016දී ගෝව (Goa) සමුළුවේ මුලසුන හොබවා ඇත.