2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

තලිබාන් ජය මැද අමෙරිකාවේ අලුත් එල්ලය!

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 272

වසර 20ක යුද්ධයෙන් පසුව නැවතත් ඇෆ්ගනිස්තානයේ පාලනය බලය මුළුමනින්ම තලෙබාන් සංවිධානය අතට පත්වී ඇති අතර ඔවුන් දැන් නව රජයක් පිහිටුවීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

අවසන් හමුදා සාමාජිකයා ලෙස ඇෆ්ගන් භූමියෙන් අමෙරිකානු ගුවන් යානයට ගොඩ වුණේ මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනහුය. ඔහු සමඟ ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු තානාපති රොස් විල්සන්ද විය.

සිය මෙහෙයුම් අගෝස්තු 31 වැනිදායින් අවසන් කරන බවට අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඇෆ්ගනිස්තාන වේලාවෙන් 31දා මධ්‍යම රාත්‍රී 12ට මිනිත්තුවකට පමණ පෙර අමෙරිකානු හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයක්  කාබුල් ගුවන් තොටුපොළින් අවසන්වරට පිටව ගියේය.

ඒ සමඟ දින ගණනාවක් පුරා සිදු කෙරුණු මුදාගැනීමේ මෙහෙයුම්ද අවසන් විය. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සිදුකළ යුදමය මැදිහත්වීම් නිමාවූ බව පෙන්ටගනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි. සිය මුදාගැනීමේ මෙහෙයුම්වලදී සිවිල් වැසියන් 1,23,000ක් ආරක්ෂිතව ඇෆ්ගනිස්තානයෙන් පිට කළ බවද අමෙරිකාව නිවේදනය කළේය. ඒ සමග ඇෆ්ගනිස්තානයේ රුඳී සිටි සියලුම විදේශීය හමුදා සාමාජිකයින් මේ වනවිට එරටින් පිටව ගොස් තිබේ.

ඇෆ්ගනිස්තානයේ සිටි අමෙරිකානුවන්ට අමතරව එක් ලක්ෂ 20,000 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා එරටින් ඉවත් කර ගැනීමත් සමග ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් ජනාධිපති ජෝ බයිඩ්න් මෙය ඉතිහාසයේ සුවිශේෂී ක්‍රියාවක් වන අතර වසර 20ක් පුරා පැවැති ඇෆ්ගනිස්තාන යුද්ධය නිමාකළ බවත් අමෙරිකාවට සදාකාලික යුද්ධයක පැටලීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ප්‍රකාශ කර තිබුණි.

අවසන්වරට අමෙරිකානු හමුදාවත් පිටව යාම හමුවේ කාබුල් ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන් ආක්‍රමණය කළ තලෙයිබාන් සංවිධානය සිය සතුට පළකර තිබුණේ ගුවනට වෙඩි ප්‍රහාර එල්ල කරමිනි.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය මේ වනවිට පවතින්නේ තලෙයිබාන් සංවිධානය යටතේය. පාලන බලය අත්පත් කරගෙන සිටින තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් සහ ඉන්දීය රජය අතර පළමුවරට රාජතාන්ත්‍රික සාකච්ඡාවක්  කටාර් රාජ්‍යයේදී පවත්වා ඇත. කටාරයේ ඉන්දිය තානාපති දීපක් නිත්තාල් සහ තලෙයිබාන් සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධානියා වන මොහොමඩ් අක්බාස් එම සාකච්ඡාවට එක්ව තිබේ.

ඒ අතර ඇෆ්ගනිස්තානයෙන් තමන් ඉවත් වුවද තලෙබාන් සංවිධානය තවමත් ක_ර සංවිධානයක් බව අමෙරිකානු හමුදා ප්‍රධානී ජෙනරාල් මාක් මිලී පවසා තිබේ. අමෙරිකාවේ මීළඟ බලාපොරොත්තුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතට එළඹෙන බව ප්‍රතිඥා දී ඇති එම සංවිධානයේ සහාය ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් සඳහා ලබාගැනීම යැයි ඔහු සඳහන් කර ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00