2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

ජපානයේ - අගමැති පුටු පොරය ඇරඹේ!

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

ජපානයේ පැවැති පළාත් මැතිවරණවලින් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ පරාජය හමුවේ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාට පක්ෂ නායකත්වය අහිමිව යන ලකුණු පහළ වී තිබේ. ඒ හෙයින් ඔහුට අගමැතිකම අහිමිවීමේ අභියෝගයකටද  මුහුණදීමට සිදුව තිබේ. ඒ, සිය පක්ෂය තුළින්ම අග්‍රාමාත්‍ය සුගාට එරෙහිව අභියෝග එල්ලවීම හේතුවෙනි.

හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ෆූමියෝ කෙෂීඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය සඳහා තරග කිරීමට සූදානම් වන බව දැන් වාර්තා වෙයි. යම් ලෙසකින් යොෂිහිඩේ සුගා ඉන් පරාජයට පත්වුවහොත් ජපානයේ කෙටිකාලීනව අග්‍රාමාත්‍ය ධූරය දැරෑවන්ගේ ලැයිස්තුවට ඔහුද එක්වන්නට නියමිතය.

ජපානයේ වැඩිම කලක් අගමැති ධූරය හෙබැවූ ෂින්ෂෝ අබේගේ පුටුවට සුගා පත්වූයේ පසුගිය සැප්තැම්බරයේදීය. හිරු නැගෙන අධිරාජ්‍යයේ 2021 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය තෙක් ඔහු එම ධූරයේ රැඳී සිටින්නට නියමිතව තිබුණි. වැඩිම කාලයක් අගමැති ධූරය හොබවමින් වාර්තාගත ජනකාන්ත ප්‍රතිරූපයක් හිමිකර ගෙන සිටි ෂින්ෂෝ අබේ අගමැතිවරයා අසනීප තත්ත්වය හේතුවෙන් සිය ධූරය අතහැරීමත් සමඟ පාලක කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (එල්.ඩී.පී.) ජනප්‍රිය තේරීම වූයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම පක්ෂයේම යොෂිහිඩේ සුගාය.

අගමැති සුගා හැඳින්වෙන්නේ හිටපු අගමැති අබේගේ දකුණු අත හැටියටය. එදා සුගා මේ පුටුවට ආවේ තුන් ඈඳුතු තරගයකිනි. ජපාන අගමැති පාලක පක්ෂයේ සභාපතිද වේ. මේ නිසා කලින්ම තිබුණේ සභාපති තේරීමේ තරගයයි. ඒ සඳහා ඔහු සමඟ තවත් තරගකරුවන් දෙදෙනකු සභාපති සටනට එක්විය. දැන් නැවත නායක පොරයට පැමිණ සිටින හිටපු විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා සහ හිටපු එල්.ඩී.පී මහලේකම් සහ එක් වරක් ආරක්ෂක ඇමති ධූරය දැරූ ෂිගෙරු ඉෂිබා ඒ තරගකරුවෝය. සභාපති ධූරය සඳහා වූ ඡන්ද විමසීමේදී සුගා බහුතර ඡන්ද සංඛ්‍යාවක් දිනා ගත්තේය.

මේ වනවිට 73 හැවිරිදි වියේ පසුවන අගමැති සුගා දේශපාලනයේ හොඳ කට්ටක් කා මෙතැනට ආ තෙම්පරාදූ වූ තැනැත්තෙකි. ඔහු කෙතරම් කට්ටක් කෑවාද යත් මුල්වරට  යොකෝහාමා නගර සභාවට තරග කරන අවස්ථාවේ එක් දිනක් තුළ නිවාස 300 බැගින් නිවාස 30,000ක් වෙත පයින්ම ගොස් තමා ගැන නගරවාසීන්ට තොරතුරු කීමට ඔහුට සිදුවිණි. ඒ ඔහු ගැන කිසිවෙක් දැන සිටියේ නැති නිසාය. ඒ හේතුවෙන් ඔහුගේ සපත්තු කූට්ටම් 6ක් ගෙවී ගිය බව පක්ෂ වාර්තා පෙන්වා දෙයි.

ඈත පිටිසර අකිටා කලාපයේ හැදුණු වැඩුණු ඔහු ස්ට්‍රෝබෙරි ගොවියෙකුගේ පුතෙකි. පාසල් අධ්‍යාපනය නිමවා රැකියාවක් සොයා ජපාන අග නගරය වන ටෝකියෝවට පැමිණ තිබේ. පසුව විවිධාකාර රැකියා කරමින් දිවි ගෙවා තිබේ. වරක් ඔහු කාඩ්බෝඩ් වැඩපොළක රැකියාවක්ද කළේය. තමන්ට ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය මගින් බව වටහා ගත් ඔහු ටෝකියෝ නගරයට පැමිණීමෙන් පසු මුදල් ගෙවා ඉගෙනගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වීය. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා ඔහු මුදල් ඉතිරි කරගත්තේ ප්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ආරක්ෂක නිලධාරියකුද ලෙස  රැකියාවක් කරමිනි. උපාධිය හිමිකරගත්, පසු යොෂිහිඩේ සුගා ස්ථීර රැකියාවක් සොයාගත්තද එහි වැඩිකලක් රැඳී සිටීමට අපොහොසත් විය. ඔහුගේ තේරීම වූයේ දේශපාලනයයි. ආධුනිකයෙකු ලෙස ඔහු ගමන ඇරඹුවේ යොකෝහෝමා නගර සභාවෙනි.

ජපානයේ මේ නායකත්ව මාරුව පැමිණෙන්නේ රටට දුෂ්කර අවස්ථාවකය. ජපානය තවමත් කොරෝනා වසංගතය සමඟ පොර බදමින් සිටින අතර ආර්ථිකයද අර්බුදය කරා ගමන් කරමින් සිටී. හිටපු අගමැති අබේ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය වන “අබෙනොමික්ස්” Abenomics සමඟ ඉදිරියට යාමට සුගා මහතා පොරොන්දු වී තිබූණි. වඩාත්ම ජවසම්පන්න හෝ උද්‍යෝගිමත් දේශපාලනඥයෙකු ලෙස නොසැලකුවද, සුගා මහතා ඉතා කාර්යක්ෂම හා ප්‍රායෝගික දේශපාලනඥයෙකු බවට කීර්තියක් දිනා ඇත. කෙසේ වුවද ඉදිරි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ඔහු පක්ෂයට නිසි නායකත්වය ලබාදෙයිද යන්න ගැන සමහරු දැන් සැකපහළ කරති. බොහෝ නිරීක්ෂකයන්ට අනුව වඩාත් ප්‍රබල නායකයෙකු එම මැතිවරණයේදී ඉදිරියට එන්නට බොහෝදුරට ඉඩ තිබේ.