2020 මාර්තු 07 වන සෙනසුරාදා

‘අසීරු 2019 වසර අවසානයේ කොමර්ෂල් බැංකු ආදායම සන්ධිස්ථානයක් පසුකරයි

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 372

රටට සහ බැංකුවට අසීරු වසරක් වූ 2019 මූල්‍ය වසර සඳහා කොමර්ෂල් බැංකු සමූහයේ දළ ආදායම පළමු වරට රුපියල් බිලියන 150 සන්ධිස්ථානය පසු කිරීමට සමත් වූ අතර, එම වසරේදී බැංකුවට ණය වෙනුවෙන් හානි පූරණය සඳහා වෙන්කළ යුතු ගාස්තු වැඩිවීම සහ ණය නැවත ගෙවීමේ බද්ද DRL& නිසා ලාභ දර්ශකයන් පහළ යෑමක් වාර්තා කිරීමට සිදු විය.  

කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතන සමන්විත කොමර්ෂල් බැංකු සමූහයේ දළ ආදායම 7.94%කින් වර්ධනය වී 2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මාස 12ක කාලය සඳහා රුපියල් බිලියන 150.741 ක් වූ අතර පොලී ආදායම රැපියල් බිලියන 10.763 කින් හෙවත් 9.06%කින් වර්ධනය වී රැපියල් බිලියන 129.288ක් විය. 

මෙම වසරේදී හානි පූරණ ගාස්තු වෙන් කිරීමට පෙර තම මෙහෙයුම් ආදායම 4.35%කින් වර්ධනය වී රුපියල් බිලියන 67.687ක් වූ බව සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබේ. 2019 මූල්‍ය වසරේදී හානි පූරණ ගාස්තු රුපියල් බිලියන 2.498 කින් හෙවත් 28.28%කින් රැපියල් බිලියන 11.332ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ණය නැවත ගෙවීමේ බදු රුපියල් බිලියන 1.819කින් රැපියල් බිලියන 2.469 ක් දක්වා මෙම කාල සීමාවේදී වර්ධනය වී ඇත. මෙම තත්ත්වය සමූහයේ බදුවලට පෙර ලාභය 11.93% කින් රුපියල් බිලියන 22.984 ක් දක්වා අඩුවීමට හේතු විය.

කෙසේ වෙතත්, සමූහයේ බදුවලට පසු ලාභය 2019 වසරේදී අඩු වී තිබෙන්නේ 2.48%කින් වන අතර එම අගය රැපියල් බිලියන 17.420ක් වී ඇත. මෙයට විශාල වශයෙන් හේතු වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය ගත් තීන්දුව නිසා ආදායම් බදු මෙම කාලයේදී 32.45%කින් අඩු වීමයි.

මේ අතර, මෙම කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකු සමූහය ආයතනික බදු ලෙස රුපියල් බිලියන 12.819ක් රජයට ගෙවා තිබෙන අතර මෙය සමූහයේ බදුවලට පෙර ලාභවලින් 42%ක ප‍්‍රමාණයකි. කෙසේ වෙතත්, බැංකුව 2012 වසරේදී සිට කොටසකට අදාළ ප‍්‍රතිලාභය එලෙසට පවත්වාගෙන යාමට සමත්ව තිබේ.