2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

පාචනය ලේසියෙන්ම වැළැක්විය හැකියි!

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 993

පාචනය සඳහා මූලික වන බොහෝ රෝග සෑදෙන්නේ දූෂිත ආහාර සහ ජලයෙනි. නිසි ලෙස පිරිසුදු නොකළ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයත් අපිරිසුදු ජලය භාවිතයත් මගින් පාචනය මුල්කරගත් ලෙඩ රෝග රුසක් තනන අහිතකර බැක්ටීරියා ශරීරගත වෙයි. පාචනය හේතුවෙන් වාර්ෂිකව ලෝකයේ මිලියන 2ක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. එයින් බහුතරයක්ම ළදරුවන්ය. වෛද්‍යවරුන් පවසන්නේ සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පෙර, වැසිකිළි කැසිකිළි භාවිතයෙන් පසු, ආහාර පිසීමට සහ ඒවා බෙදාහදා දීමට පෙර හොඳින් අත සෝදනවා නම් මේ ලෙඩරෝග බොහොමයකින් වැළකිය හැකි බවයි. ඉතාමත් සරල පූර්ව ආරක්ෂක ක්‍රම තුනක් භාවිත කරන්නේ නම් ආහාර හේතුවෙන් ඇතිවන රෝගාබාධ වළක්වාගත හැකි වේවි.

• අමු ආහාර පිසූ ආහාර සමඟ මුසු කරන්න එපා

මූලින් කීවාක් මෙන් තමන්ගේ පිරිසුදුතාවය ආරක්ෂා කිරීම මෙන්ම ආහාරය සඳහා ගන්නා එළවළු පළතුරු මෙන්ම මස් මාළු ආදිය ද හොඳින් සෝදාගත යුතුයි. එපමණක් නොව ආහාර කපන්නට යොදාගන්නා බෝඩ් සහ උපකරණ ද ඉතා හොඳින් සැමවිටම සෝදා පිරිසුදු කළ යුතුයි. අනිත් කාරණය වන්නේ අමු ආහාර සහ පිසූ ආහාර එකිනෙක කළවම් නොකිරීමයි. එසේම අමු මස් සහ මාළු වර්ග, අමු එළවළු සමඟ මුසු කිරීමද නොකළ යුතුය.

• නියමිත උෂ්ණත්වයට රත් කරන්න

තෙවැනි කාරණාව වන්නේ ආහාර හොඳ උණුසුමක් යොදා පිසගැනීමයි. සෙන්ටිග්‍රේඩ් අංශක 60ට වැඩි උණුසුමකට ආහාර රත්කර ගත යුතු අතරම පිසූ ආහාරයක් නැවත භාවිතයට ගැනීමේදී එය සෙන්ටිග්‍රේඩ් අංශක 74 දක්වා රත්කර ගත යුතුය. මස්, කුකුළු මස් විශේෂයෙන්ම බෙල්ලන්, කකුළුවන් වැනි ආහාර මෙසේ ඉහළ උෂ්ණත්වයකට රත් කළ යුතුමය. මේ කියන සරල කාරණා මගින් පාචනයට මුල්වන බොහොමයක් රෝග වළක්වා ගත හැකිවෙයි.

• නියමිත උෂ්ණත්ව පරාසය මෙන්න

සාමාන්‍යයෙන් බැක්ටීරියාවක් ශරීරයකට ඇතුළු වී පැය 7ක කාලයක් ගතවන්නට පෙර එය මිලියන 2ක් පමණ සංඛ්‍යාවක් දක්වා සිය ගහණය වැඩිකර ගනියි. මේ නිසා බැක්ටීරියාවන්ට අහිතකර උෂ්ණත්වයක ආහාර පවත්වා ගැනීම් කළ යුතුයි. ඒ සඳහාම සුදුසු උෂ්ණත්ව පරාසයක් දැන් දක්වා තිබේ. සාමාන්‍යයෙන් බැක්ටීරියාවන්ට හිතකර උෂ්ණත්ව පරාසය වන්නේ සෙන්ටිග්‍රේට් අංශක 5-60 දක්වාය. මේ නිසා ඔබේ ආහාරය එක්කෝ සෙන්ටිග්‍රේඩ් අංශක 5 වඩා සිසිල් කළ යුතුය. නැතිනම් සෙන්ටිග්‍රේඩ් අංශක 60 වඩා රත් කළ යුතුය. ප්‍රෝටීන හා පිෂ්ඨය බහුල ආහාර කිරි, බිත්තර ආදිය බැක්ටීරියා වර්ධනයට සුදුසු මාධ්‍යයන්ය. මේ නිසාම එබඳු ආහාර ප්‍රශස්ත උෂ්ණත්වයට රත්කර හෝ සිසිල් කර අලුත් තත්ත්වයෙන් භාවිත කිරීම කළ යුතු වේ.

• බැක්ටීරියා සොයා යන ආහාර

බැක්ටීරියා වර්ධනයට අතහිත දෙන ආහාර වර්ග ලෙස අල වර්ග, සලාද, සකස් කළ පළතුරු, නිවුණු බත්, බිත්තර, මාළු සහ මුහුදු ආහාර, කුකුළු මස් සහ ආශ්‍රිත නිපැයුම්, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, මස් වර්ග දක්වන්නට හැකිය

• දකුණු ආසියාවේ දරුවන් හත් ලක්ෂයක් වසරකට බිලි

දකුණු ආසියාතික කලාපයේ පමණක් දරුවන් හත් ලක්ෂයක් වාර්ෂිකව මේ කියන ලද සුළු මූලික ආරක්ෂණ පියවර නොගැනීම හේතුවෙන් මිය යන බව වාර්තා වේ.

• ලෙඩ වපුරන  කඩ

කොළඹ නගරය තුළ පමණක් හෝටල් දාහක් පමණ පවතින අතර එයින් 90෴ක්ම පමණ නුසුදුසු ආහාර විකිණීමේ යෙදෙයි. තරු පහේ හෝටලවල සිට පෙට්ටි කඩය දක්වා මෙහි වෙනසක් නැත.  

ලංකාවේ ජනතාව දැනට බහුල වශයෙන්ම හෝටල් ආශ්‍රිතව ඇති සැකසූ ආහාර ලබාගැනීම සිදු කරති. කොත්තු රොටි, පරාටා, ප්‍රේස්ට්‍රි, බිත්තර බනිස්, සොසේජස් බනිස් ඇතුළු බේකරි කෑම මෙන්ම කෙසේ කොතැන සාදන්නේදැයි නොදන්නා ආහාර පැකට් භාවිතය ද ඉහළ ගොස් තිබේ. මේ නිසාම පාචනය ඇතුළු රෝග වැළඳීමේ ඉඩකඩ ඉහළ ගොස් තිබේ.

බඩට ලෙඩ ගෙනෙන බව දැන දැනම කඩකෑම සහ අපිරිසුදු ආහාර පරිභෝජනයට ගැනීමෙන් තමන්ටම වින කර ගැනීම නැවැත්වීමට දැන් කාලය උදා වී තිබේ. හොඳින් අත් පිරිසුදු කර ගැනීම මෙන්ම ආහාර ද්‍රව්‍ය පිරිසුදුව, නියමිත උෂ්ණත්වයකින් යුතුව තබා ආහාරයට ගැනීම බඳු ලෙහෙසි උපක්‍රම තිබියදීත් මාරාන්තික බවට ද පත්විය හැකි මෙම රෝග බලෙන්ම ඇඟට දාගන්නේ ඇයි? ඒ සෞඛ්‍ය බලධාරීන් ඔබෙන් විමසන පැනයයි.

සුගත්