2022 අප්‍රේල් 03 වන ඉරිදා

පිරිමින්ට මුල්වරට උපත් පාලන පෙත්තක්!

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 1677

මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කර ඇති අතර එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබේ. පර් ෙය්ෂකයන්ට අනුව, වසර අවසන් වන විට මෙහි මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කළ හැකිය.

නව පෙත්ත තුළ භාවිත රසායනය ශුක්‍රානු නිෂ්පාදනය හා සාරවත් බව සමඟ සම්බන්ධ වන විටමින් A ආකාරයක් ලබාගන්නා ශරීරයේ ප්‍රෝටීනයක් ඉලක්ක කර ක්‍රියා කරයි. එය මගින් ක්ෂීරපායීන්ගේ සශ්‍රීකත්වයට සහ පුරුෂභාවයට තීරණාත්මක ලෙස බලපාන එම විටමින් A ආකාරය සමඟ ප්‍රෝටීනය බන්ධනය වීම අවහිර කරයි. පර්යේෂකයන් විසින් YCT529 ලෙස මෙම සංයෝගය හඳුන්වා තිබේ. මෙය හෝර්මෝන භාවිත නොවන උපත් පාලන ක්‍රමයකි. ඒ අන්දමට මෙම ඖෂධය මීයන් තුළ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99% ක් ඵලදායී වූ අතර කිසිදු අතුරු ආබාධයක් නොමැති වූ බව ඉකුත්දා අමෙරිකානු රසායනික සංගමයේ වාර්ෂික රැස්වීමේදී   ඉදිරිපත් කරන ලද පර් යේෂණ වාර්තා තහවුරු කළේය.

පර් යේෂණයට නායකත්වය දුන් මිනසෝටා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුන්ඩා ජෝර්ජ්ට අනුව පර් යේෂකයන් විසින් මෙම ඖෂධය ඉහළ මාත්‍රාවන් සඳහා පරීක්ෂා කිරිමේදී පවා මීයන් තුළ කිසිදු අතුරු ආබාධයක් හටගෙන  නොතිබුණි. "ඔවුන් කනවා, බොනවා, ඒ වගේම පැටවුන් උපද්දන්න නොහැකි වුවත් ඔවුන් ලිංගිකව ක්‍රියාශීලීයි. ඒ වගේම අපි ඵලදායී මාත්‍රාවට වඩා 100 ගුණයක් වැඩි මාත්‍රාවකට ගිය විටපවා, සංයෝගය කිසිදු විෂ සහිත බවක් පෙන්වූයේ නෑ.”   
මෙම පර්යේෂණයේදි මීයන්ට සති හතරක් සඳහා ඖෂධය මුඛයෙන් ලබා දුන් විට, ඔවුන් වඳ බවට පත්වන තරමට ශුකානු ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇත. කණ්ඩායම සතුන්ට ඖෂධ මාත්‍රා ලබාදීම නැවැත්වූ විට, එහි ඇති රසායනයේ  බලපෑම ආපසු හැරවෙන බව ඔවුහු දුටුවහ. එම මීයෝ සති හතරක් හෝ හයක් තුළ නැවතත් සාමාන්‍ය සරු සතුන් බවට පත්වූහ.

මෙම රසායනය හෝමෝන මත ක්‍රියා නොකරන්නක් බැවින්, එය අතුරු ආබාධ අඩුවෙන් ඇති කරන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මීට පෙර පිරිමි උපත් පාලන බෙහෙත් බොහෝ දුරට ක්‍රියාත්මක වී ඇත්තේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අවහිර කිරීමෙනි, එය පසුව මානසික අවපීඩනයට, බර වැඩිවීමට සහ ආත්ම විශ්වාසය  අවම වීමට හේතු වී තිබුණි.  

දැනට පිරිමි උපත් පාලන ක්‍රම අනුමත ආකාර දෙකක් පමණක් ඇත: ඒ vasectomies සහ condom භාවිතයයි. 1970 ගණන්වල සිට විද්‍යාඥයෝ පිරිමි උපත් පාලන පෙත්තක් නිර්මාණය කිරීමේ ක්‍රම පිළිබඳව පර්යේෂණ කරමින් සිටිති. එලෙස ඵලදායී පිරිමි මුඛ උපත් පාලන ක්‍රමයක් නිපදවීමට විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ උත්සාහ කර ඇතත්, තවමත් අනුමත සාර්ථක පෙත්තක් වෙළෙඳපොළේ නොමැත, යනුවෙන් පෙති නිෂ්පාදනයට සම්බන්ධ වූ මිනසෝටා විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාඥ එම්.ඩී. අබ්දුල්ලා අල් නොමන් පවසයි.

කෙසේ වෙතත් මෙම පෙත්ත යම් හෙයකින් අසාර්ථක වුවද, දැන් පර් යේෂකයන් සාර්ථක සංයෝගයක් සොයාගෙන ඇති බැවින් අනාගත අත්හදා බැලීම්වලදී, ඔවුන්ට පෙත්ත සඳහා විකල්පයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය වෘත්තිකයන් බලාපොරොත්තු වන්නේ පිරිමි උපත් පාලන ක්‍රමයේ මෙම මෑතකාලීන දියුණුව නිසා සෑම ලිංගයකටම අයත් පුද්ගලයන්ට තම ප්‍රජනක සෞඛ්‍ය පාලනය කිරීමට ඉදිරියේදී ඉඩ සැලසෙනු ඇති බවය. දිනපතා උරහිස මත අතුල්ලනු ලබන ජෙල් එකක් හැටියට තැනෙන තවත් පිරිමි උපත් පාලන ක්‍රමයක් ද සොයාගෙන ඇති අතර එය දැනට සායනික පරීක්ෂණවල පවතී. පිරිමින් දිනකට එක් වරක් ඔවුන්ගේ උරහිස් සහ ඉහළ අත්වල ඇතිල්ලීමෙන් උපත් පාලනය සිදු කළ හැකි NES/T නම් වූ එම උපත් පාලන ජෙල් සංයුතිය සායනිකව පරීක්ෂා කිරීම සඳහා ජාතික සෞඛ්‍ය ආයතන අරමුදල් සපයයි. එම හෝර්මෝන ජෙල් දැනට II අදියර සායනික අත්හදා බැලීම්වල පවතින බව ප්‍රධාන විමර්ශකයෙක් වන වෛද්‍ය වැන්ග් පැවසීය. ඇය  කියන්නේ, මෙම  ජෙල් තවත්  වසර පහකින් පමණ ලබාගත හැකි බවය.

 සුගත්