2021 ජුලි 24 වන සෙනසුරාදා

ඔබ ඔබම වීමට වියපත් නොවන ස්නායු පද්ධතිය - 01

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 2176

අප අපව අත්විඳින්නේද, අප ජීවත්වන බව දන්නේද ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසාය. අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සංවේදන ග්‍රහණය කර ගනිමින් ගැළපෙන පරිදි පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර ක්‍රියාකාරීත්වය ඇතිකිරීම සිනායු පද්ධතිය හා ආශ්‍රිත අවයව මගින් සිදුකරයි. ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් තුනක් යටතේ විස්තර කරනු ලබයි. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය හා ස්වයං සාධක ස්නායු පද්ධතිය එම ප්‍රධාන කොටස් තුනයි. මොළය හා සුසුම්නාව මධ්‍ය ස්නායු පද්ධතිය ලෙස හඳුන්වන අතර අපගේ සාකච්ඡාව ප්‍රධාන වශයෙන් යොදවන්නේ වියපත්වීම සමඟ මොළයට ඇතිවන බලපෑම සලකා බැලීමට හා මරණයට පත්වන මොහොත තෙක් මොළය ප්‍රශස්ථ ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සලකා බැලීමටයි.

මහලු බවට පත්වූ කෙනෙකු නිරීක්ෂණය කරන්න. ඔහුට ආහාර ලබාගැනීමට, ඇඳුම් ඇඳ ගැනීමට, පිරිසිදු වීමට හා තැනින් තැනට ගමන් කිරීමට ආදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සඳහාද තව කෙනෙකුගේ සහාය ලබාගැනීමට සිදුවේ. වියපත් බව වැඩිවන්නට වැඩිවන්නට තව කෙනෙකුගේ සහාය හා රුකවරණයෙන් තොරව ජීවත්වීම දුෂ්කර කාර්යයක් බවට පත්වේ. අවුරුදු පනහ පමණ ඉක්මවා යාමෙන් පසු මොළයේ ක්‍රියාකාරීත්වයේ ඇතිවන දුර්වලතා මඳින් මඳ අත්දැකීමට පටන් ගනී. අසන දකින දේකට ක්ෂණිකව ප්‍රතික්‍රියා කිරීමේ වේගය අඩුවීම, මතක තබා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් දුර්වල වීම, අලුතින් යමක් ඉගෙනීමේ හැකියාව දුර්වල වීම, එදිනෙදා කටයුතුවල ඵලදායීතාවය හා කාර්යක්ෂම බව පහත වැටීම ආදිය ඇතිවන අතර කාලය ගෙවීයාමත් සමග ක්‍රමයෙන් උග්‍ර බවට පත්වේ. වයස් ගතවීම්ත සමග මෙලෙස මොළය ප්‍රමුක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම එම පද්ධතිය තුළ ඇතිවන වියපත් වීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. වයස් ගතවන විට මොළයේ පරිමාව හා ස්කන්ධය ක්‍රමයෙන් අඩුවන අතර මොළයේ තැනුම් ඒකකය වන නියුරෝන සෛල සංඛ්‍යාව ක්‍රමයෙන් පහත යයි. විවිධ කාර්යයන්ගේ ඉටුකිරීමට විශේෂණය වී ඇති මොළයේ කොටස්වල ස්නායු සෛල ප්‍රමාණය අඩුවීම හා ස්නායු ආශ්‍රිතව ස්‍රාවය වන ස්නායු සංවේදක ද්‍රව්‍ය ස්‍රාවය වීම අඩුවීම හේතුවෙන් ඒ ඒ කොටස් මගින් ඉටුකරන කාර්යභාරය ක්‍රමයෙන් දුර්වල වීම සිදුවේ. ස්වභාවිකව දිනපතා සිදුවන ස්නායු සෛල මියයාමට අමතරව මොළය තුළ ඉහළ ඔක්සිකාරක ආතතියක් පැවතීම, නිබන්ධන ඉන්නෙලමේෂන් තත්ත්වයන් පැවතීම, ස්නායු සෛල උත්තේජනය වීමට අඩුවිම, මොළයේ පැවැත්මට අත්‍යවශය පෝෂ්‍ය පදාර්ථ ඌනතාවක් ඇතිවීම, රුධිර වාහිණී දෘඪ බවට පත්වීමෙන් රුධිර සංසරණයට බාධා වීම, මත්පැන් හෝ වෙනත් විෂ රසායනික ද්‍රව්‍යවල බලපෑමට ලක්වීම හා නොයෙක් නිධන්ගත රෝග වැළඳී තිබීම ආදී සාධක මොළය ඇතුළු ස්නායු පද්ධතිය ක්‍රමයෙන් අඩපණ කිරීමට හේතු වේ.

පියාසර කරමින් තිබෙන ගුවන් යානයක් සුරක්ෂිතව ගමනාන්තය වෙත රුගෙන යාමට ගුවන් නියමුවා හොඳින් සිටිය යුතු අතර නියමු කුටිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඒ අයුරින් අපගේ මොළය හා ස්නායු පද්ධතියේ යහසාධනය තහවුරු කර ගැනීම කායික, මානසික, සමාජීය හා අාධ්‍යාත්මික වශයෙන් යහපත් වූ දිවියක් ගත කිරීමට අනිවාර්ය අවශ්‍යතාවයකි. කාලය ගෙවී යන විට මොළය සහ ස්නායු පද්ධතියේ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වීම පුද්ගලයකු ලෙස ඵලදායී හා කාර්යක්ෂම දිවියක් ගත කිරීමටත්, ජීවිතය විඳීමටත්, අාධ්‍යාත්මික සැනසීම ලබාගැනීමටත්, අන් අයට වද නොදී ස්වාධීන ජීවිතයක් ගත කිරීමටත් ඉවහල් වන ඉතා බුද්ධිමත් තීරණයකි. වියපත් වීමට එරෙහිව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ හැකියාව මොළයේ යහපැවැත්ම තහවුරු කරගැනීම මත රඳා පවතී. මේ සඳහා වැදගත් වන දැනුම හා ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධය ලබාගැනීම අවුරුදු 30ක් ඉක්මවන සෑම කෙනෙකුම දැඩි ලෙස අවධානයට ලක්කළ යුතු කරුණකි.

මොළය හා ස්නායු පද්ධතිය සෑදී ඇත්තේ න්‍යුරෝන ලෙස හඳුන්වනු ලබන විශේෂිත සෛල වර්ගයකිනි. එම නියුරෝන සෛල උපාගම නැමති ජෛව විද්‍යුත් සම්බන්ධතා මගින් එකිනෙක හා සම්බන්ධ වී පවතී. මොළය තුළ ස්නායු සෛල බිලියන ගණනක් කෘත්‍යයන් ඉටුකිරීමට විශේෂණය වී තිබේ. උපත සිදුවන විට මොළයේ ඇති සියලු ස්නායු සෛල සෑදී අවසාන බවත්, කාලය ගෙවී යන විට විනාශයට පත්වන ස්නායු සෛල නැවත ප්‍රතිස්ථාපනය නොවන බවත්, ක්‍රියාකාරීත්වය දුර්වල වීම ස්ථාවර බවත් විශ්වාස කෙරිණි. නමුත් මෙම උපකල්පනය නිවැරදි නොවන බව තහවුරු වී ඇති අතර පුද්ගලයාගේ මුළු ජීවිත කාලය පුරාවටම මොළය හා ස්නායු පද්ධතියේ සෛල ප්‍රතිස්ථාපනය කිරීමට හා ක්‍රියාකාරීත්වය ඇති කිරීමට හැකියාව පවතින බව පැහැදිලි වී ඇත. මෙම ස්නායු ප්‍රතිගණනය වීමේ හැකියාව න්‍යුරොප්ලාස්ටිසිටි (Neuroplasticity) ලෙස හඳුන්වයි. අවශ්‍යතාවය අනුව ස්නායු සෛලවල භෞතික ප්‍රමාණය වැඩිවීම හා නව උපාගමනයන් බිහිවීම මගින් ක්‍රියාකාරීත්වය වැඩිවීම සිදුවේ. මෙම න්‍යුරොප්ලාස්ටිසිටි හැකියාව උත්තේජනය කිරීම මගින් මොළයේ හා ස්නායු පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයේ අකර්මන්‍යතා ප්‍රතිස්ථාපනය කරගැනීමේ අවස්ථාව උදාවේ. නිවැරදි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ නම් වයස අවුරුදු 100ක් වුවත් මොළයේ ප්‍රජානන හැකියාව හා සෙසු ක්‍රියාකාරීත්වයන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවේ

වියපත් වීම සමඟ මොළය ඇතුළු ස්නායු පද්ධතියේ ඇතිවන ව්‍යුහමය හා ක්‍රියාකාරීත්වයේ අකර්මන්‍යතා ඇතිවීම වැළැක්වීමටත් ඇතිවී ඇති හානි යථාවත් කර ගැනීම මගින් පූර්ණ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමටත්, වර්තමාන විද්‍යාත්මක දැනුම ලබාගැනීම වැදගත් වේ. ප්‍රශස්ථ ශරීර ක්‍රියාකාරීත්වය (Optimal Physical Activity) පවත්වා ගැනීමේ අවශ්‍යතාවය, ඉහළ ප්‍රජානන ක්‍රියාකාරීත්වයන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය, ජීවන රටාව තුළ සිදුකළ යුතු සංශෝධන හා ආහාර භාවිතයේ සිදුකළ යුතු වෙනස්කම් මේ යටතේ සලකා බැලිය යුතුව ඇත. මෙම ලිපියේ දෙවැනි කොටස මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට යෙදවෙනු ඇති.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00