2021 මැයි 08 වන සෙනසුරාදා

ධමනි වියපත් වීම හා රුධිර සංසරණ පද්ධතියේ රෝග - 03

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 570

සෞඛ්‍යමත් රුධිරවාහිනී වියපත් වීම (HVA) යන ප්‍රවේශයට අදාළ ක්‍රියාමාර්ග වෙත යොමුවීම මගින් හෘදය හා මොළය ආශ්‍රීත රෝග වළක්වා ගත හැකි අතර සමස්ත ශරීරයේම යහපැවැත්ම තහවුරු කරගැනීමට හැකියාව ලැබේ. CFPWV අගය තත්ත්පරයට මීටර් 7.6 අගයට වඩා අඩුවෙන් පවත්වා ගැනීම HVA ලෙස අර්ථකථනය කරයි. විද්‍යාත්මකව තහවුරු වී ඇති කරුණු මත පිහිටා HVA ක්‍රියාවලිය සාක්ෂාන්  කරගැනීම සඳහා යෝජනා වී තිබෙන ප්‍රධාන ප්‍රවේශ දෙකක් පවතී. ජීවන රටාව පාදක ක්‍රියාමාර්ග එයින් පළමු හා පොදු ජනතාවට වැදගත් ප්‍රවේශය වන අතර ඖෂධ මත පදනම් වූ ක්‍රියාමාර්ග දෙවැනි ප්‍රවේශයයි.

HVA සඳහා ජීවන රටාව පාදක ක්‍රියාමාර්ග

01. ව්‍යායාම - ස්වායුක ව්‍යායාමවල යෙදීම මගින් රුධිරවාහිනී දෘඪ වීම පාලනය වන බව පර් යේෂණවලින් පෙනී ගොස් ඇත. පමණ ඉක්මවා දීර්ඝකාලයක් ස්වායුක ව්‍යායම වල යෙදීම මගින් ධමනි දෘඪ වීම ප්‍රවර්ධනය වන බවද සොයාගෙන ඇත. මධ්‍යම තීව්‍රතාවයෙන් සිදුකරන ස්වායුක ව්‍යායාම (ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, නැටීම, පැනීම) සඳහා සතියකට විනාඩි 150ක් වෙන්කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුවේ. මෙම විෂයේ ලා යෝග ව්‍යායාම ඉතා ප්‍රයෝජනවත් වන්නේ එම ව්‍යායාම මගින් සිරුරේ නම්‍යශීලි බව වැඩිකිරීමට හා රුධිර පීඩනය පහත හෙළීමට ඇති විශේෂ හැකියාව නිසායි. උරස් කුහරයට යොදනු ලබන පීඩනයකට එරෙහිව ආශ්වාශ කිරීම මගින් රුධිර පීඩනය හා ප්‍රධාන ධමනිවල දෘඪ වීම පාලනය වන බව පෙන්වා දී ඇත. තණ පුඩුවලට පහතින් පපුව වටා යවන ලද රෙද්දක් ආධාරයෙන් යොදනු ලබන පීඩනයකට එරෙහිව ගැඹුරට හුස්ම ගැනීමේ ව්‍යායාමයක් කිරීම සිදුකළ හැකිය. මාංශ පේශී වර්ධන ව්‍යායාම මගින් ධමනි දෘඪ වීම ප්‍රවර්ධනය වන අතර ස්වායුක ව්‍යායාම හා ඇදීමේ ව්‍යායාම සමඟ මිශ්‍රව සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ.

02. සිරුරේ බර කළමණාකරණය හා ශක්තිජනක ආහාර සීමාකිරීම (CR) අධිබර හා ස්ථුලතාවය ඇති අය තුළ CFPWV අගය ඉහළ මට්ටමක පවතින අතර බර කළමනාකරණය කිරීම මගින් එම අගය පහත හෙළිය හැකි බව පෙනීගොස් ඇත. ශක්තිජනක ආහාර පාලනය (CR) ධමනි දෘඪවීම පාලනය සඳහා ප්‍රායෝගිකව යොදාගත හැකි. ඉතාම ඵලදායී ක්‍රමවේදයක් බව විද්‍යාත්මක පර් යේෂණ රාශියකින් තහවුරු වී ඇත. පරිභෝජනය කරනු ලබන පිෂ්ඨය, සීනි හා මේද ප්‍රමාණය සමස්තයක් ලෙස අඩුකර ගැනීම හා කඩින්කඩ නිරාහාරව සිටිමේ ක්‍රමවේදයක් ජීවිතය තුළට අනුගත කරගැනීම සිදුකළ හැකිය. 16/08 සැලැස්ම ලෙස හඳුන්වන දිනපතා උදෑසන ආහාරය මහහැර දිවා ආහාරයෙන් ආහාර ගැනීම ආරම්භ කිරීම, 512 සැලැස්ම ලෙස හඳුවන්නේ සතියේ දින පහක්ම සාමාන්‍ය ලෙස ආහාර ගන්නා අතර අතරමැද දින 2ක් නිරාහාරව සිටීම හෝ අඩු කැලරි (කැලරි 300-500 අතර) ආහාර වේල් දෙකක් ලබාගැනීම, දිනයක් හැර දිනයක් උදෑසන ආහාරය හා දිවා ආහාරය මගහැරීම, සතියේ දින තුනක් රාත්‍රි කෑමවේල මගහැරීම, ආහාර පරිභෝජනය දිනය ආරම්භයේ පැය කිහිපයකට සීමා කිරීම ආදී ක්‍රම ලොවපුරා ප්‍රචලිතව ඇති ශක්තිජනක ආහාර පාලන (CR) ක්‍රමවේද වේ.

03. ආහාර වල අනතර්ගතය පාලනය

ලුණු හා ලුණු මිශ්‍ර ආහාර භාවිතය සීමාකිරීම මගින් ධමනි බිත්ති ආශ්‍රිත ඔක්සිකාරක ආතතිය පහත හෙළිය හැකි අතර ධමනි ප්‍රසාරණයට උපකාරී වන නයිට්‍රස් ඔක්සයිඩ් (NO) ජෛව බහුලත්වය වැඩිවීම සිදුවේ. 
රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් වර්ගය වන HDL අඩුකිරීමට, අහිතකර කොලෙස්ටරෝල් වර්ගය වන LDL වැඩිකිරීමට, රුධිරවාහිනී ආශ්‍රිතව ඔක්සිකාරක ආනතිය වැඩිකිරීමට හා සිරුර පුරා අහිතකර ඉන්ගෙලමේෂන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ට්‍රාන්ස් මේද අම්ල අඩංගු ආහාර සම්පූර්යෙන්ම පිටු දැකිය යුතුයි. අසංතෘප්ත මේද අම්ල අර්ධ ලෙස හයිඩ්‍රජනීකරණය කිරීමෙන් නිපදවන අර්ධ සහ මේදය හා මාගරින් වර්ග ට්‍රාන්ස් මේද අම්ල බහුලව අඩංගු ද්‍රව්‍ය වේ. පාම් තෙල්, සොයාතෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්, කැනෝලා තෙල්, ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේද අම්ල අඩංගු තෙල් වර්ග තෙල් රත් කිරීම අවශ්‍ය වන පිසීම් කටයුතුවලට භාවිතා කිරීමේදී ට්‍රාන්ස් මේද අම්ල නිෂ්පාදනය වේ.
සත්ව මේදය තුළ අන්තර්ගත සංතෘප්ත මේද අම්ල මගින් අහිතකර ලෙස කොලෙස්ටරෝල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන බැවින් එම ද්‍රව්‍ය පරිභෝජනය සීමාකිරීම සිදුකළ යුතුය. 
PGEP ලෙස හඳුන්වන සංකිර්ණ අණු අඩංගු ආහාර වන බේකරි නිෂ්පාදන, බිස්කට් වර්ග, කේක වර්ග, පීසා, චොක්ලට් වැනි ආහාර පරිභෝජනය සීමා කිරීම. 
දේදුනු වර්ණයෙන් යුතු එළවළු හා පළතුරු, කොළ වර්ග, ඇට වර්ග, බීජ වර්ග, රනිල වර්ග කුරට්ට සහිත ධ්‍යාන වර්ග නිර්න්තයෙන් ආහාරවලට එක්කර ගැනීම.
ඔමේගා 03 මේද අම්ල අඩංගු ආහාර වන මාළු, මාළු තෙල් ෆ්ලෙක්ස් සිඩ්, චිශා සීඩ්, වොල්නට්, සෝයා ඇට ආදී ද්‍රව්‍ය බහුල ලෙස ආහාරයට එක්කර ගැනීම.
සෑම ආහාර වේලකටම ජලයේ දියවන තන්තු අඩංගු ආහාර වන පළතුරු, ඕට්ස් රනිල ශාක, බ්‍රකෝලි, බාර්ලි, කැරට් වැනි ද්‍රව්‍යද, ජලයේ දිය නොවන තන්තු අඩංගු ද්‍රව්‍ය වන කුරුට්ට සහිත ධාන්‍යය, කොළ වර්ග, කෙසෙල් මුව, කොහිල වැනි ද්‍රව්‍යද එකක් හෝ කිහිපයක් ගැනීම.

04. ඔක්සිකාරක ආතතිය පාලනය
ප්‍රතිඔක්සිකාරය ද්‍රව්‍ය අඩංගු ආහාර කුඩා සිට පරිභෝජණය කළ අයත් CFPWV අගය සැලකිය යුතු අඩු අගයක පවතින බව නිරීක්ෂණ කොට ඇත. එළවළු, පළතුරු, ග්‍රීන් තේ කහ, සුදලූනු, කළු චොකලට්, ඉඟුරු, කුරුඳු වැනි ද්‍රව්‍යද ආහාරයට එක්කර ගැනීම ප්‍රයෝජන වේ.

05. නයිට්‍රස් ඔක්සයිඩ් ජෛව බහුලත්වය ප්‍රවර්ධනය - ව්‍යායාමවල යෙදීම හා බීට්රූට්, කොමඩු, දෙළුම්, සුදුලූනු, පැඟිරි පළතුරු ඇටවර්ග හා බීජවර්ග ආදී ආහාර නිතර පරිභෝජනය කිරීම.
06. ආතතිය හා චිත්ත වේග පාලනය - අනුවේශී ස්නායු පද්ධතිය නිතර නිතර උත්තේජනය වී රුධිර පීඩනය ඉහළ යාම වැළැක්වීමට අතිශයින් වැදගත් වේ.
07. සතුටින් සිටීම හා ධනාත්මික සිතුවිලි වර්ධනය - ඩොපැමින්, සෙරටොනින්, නොඑපිනෙෆ්රින්, එන්ඩ්‍රොප්‍රින්, ඔක්සිටොෂින් යන සතුටට අදාළ හෝමෝන මගින් රුධිර පීඩනය අඩුවන අතර ඔක්සිකාරක ආතතිය පාලනය වේ.
08. ප්‍රමාණවත් රාත්‍රි නින්දක් ලබාගැනීම මගින් රුධිරයට - එක්වන  මෙලටොනින් හෝමෝනය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් හා ඉන්ගලවේෂන් වර්ධන ද්‍රව්‍යයක් ලෙස ක්‍රියාත්මක වේ.
HAV සඳහා ඖෂධ සාදන ක්‍රියාමාර්ග

01. ඖෂධ මගින් අධික රුධිර පීඩනය පාලනය කිරීම සිදුකළ යුතු අතර DCE ග්‍රාහක අවහිර කරන ඖෂධ භාවිතය විශේෂයෙන් වැදගත් වේ.
02. කොලෙස්ටරෝල් පාලනය භාවිත වන ස්ටැටින් ඖෂධ මගින් ධමනිවල ඔක්සිකාරක ආතතිය පහළ දැමීම, NO වැඩිකිරීම, සර්ට්‍රයින් ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සිදුකරයි.
03. රෙස්වරට්‍රෝල් (Resveratrol) නැමැති ද්‍රව්‍ය මගින් ස්ර්ට්‍රයින් ප්‍රෝමීන් ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම හා ඔක්සිකාරක ආතතිය වැඩිකිරීම සිදුකරයි. මිදි, බෙරි වර්ග, මා දං, රටකජු, රතු වයින් ආදී ද්‍රව්‍යවල බහුලව අඩංගුව ඇත. සමහර ආහාර අතිරේක හා විටමින් වර්ගවල මෙම ද්‍රව්‍ය අඩංගුව ඇත.

තර්කානුකූලව හා විද්‍යානුකූලව රුධිර වාහිනිවල සෞඛ්‍යමත් බව ප්‍රවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ජීවිතය තුළට ගොනුකර ගැනීම තුළින් සුවපත් සවිමත් හෙට දිනයක් සමඟ සතුට පිරුණු දිගු දිවියක් උරුම වේ. 

 

වෛද්‍ය ජගත් ඇල්විටිගල