2021 මාර්තු 27 වන සෙනසුරාදා

මොකක්ද මේ සයිඩ් ඉෆෙක්ට්ස්?

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

මොකක්ද මේ අතුරු ආබාධ එහෙමත් නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් කියන්නේ. බෙහෙත් ගැන කතා කරනකොට බහුලව ඇහෙන දෙයක් තමා මේ. දොස්තරගෙන් හැමෝම අහන්නෙ නැති වුණත් හැමෝම හිතේ තියාගෙන ඉන්න ප්‍රශ්නයක් මේක. බෙහෙතක් ගැනීම නිසා වෙනත් ලෙඩ ගොඩක් හැදෙන්න පුළුවන් කියල සමහරු මේක විස්තර කරනවා. නමුත් ඇත්ත කතාව මොකක්ද?

ඇත්තටම බෙහෙතක අතුරු ආබාධයක් කියන්නේ ඒ බෙහෙත් ගැනීම නිසා ලැබෙන හොඳ ප්‍රතිඵලය එක්කම ලැබෙන සුළු අහිතකර ප්‍රතිඵලයක්ය කියන එකයි මේ ගැන ඇති හොඳම විස්තර කිරීම. උදාහරණ හැටියට සමහරුන්ට දියවැඩියාව පාලනය කරන්න ගන්න බෙහෙතක් නිසා දියවැඩියාව පාලනය වෙන ගමන් කෑම අරුචිය එන්න පුළුවන්. වේදනාව අඩු කරගන්න දෙන වේදනා නාශකයක් නිසා බඩේ දැවිල්ල එන්න පුළුවන්. ඒ කියන්නේ බෙහෙත් එක්කම එන ස්වභාවික ප්‍රථිපලයක් තමා මේ අතුරු ආබාධය.

දැන් ලෝකෙ බෙහෙත් වර්ග දියුණු වෙනකොට මේ කියන අතුරු ආබාධ පුළුවන් තරම් අඩුකරලා තමා බෙහෙත් වර්ග හදන්නේ. ඉස්සර දීපු වේදනා නාශක නිසා හැදුන තරම් ලොකු බඩේ දැවිල්ලක් දැන් අලුතින් එන වේදනා නාශකවලින් හැදෙන්නේ නෑ. හැබැයි මේ ලෝකෙ කවදාවත් අතුරු ආබාධ නැති බෙහෙත් හදන්නත් බෑ. ඉතින් එහෙමනම් ඇයි මේ අතුරු ආබාධ තියාගෙන මේ බෙහෙත් මිනිස්සුන්ට දෙන්නේ?

දොස්තර කෙනෙක් ළඟට ලෙඩෙක් ආවාම දොස්තර එයාට බෙහෙත් නියම කරන්න කලින් හිතන දෙයක් තියෙනවා. ඒ තමයි මම මේ ලෙඩාට මේ බෙහෙත දුන්නොත් මොකද වෙන්නෙ? නොදුන්නොත් මොකද වෙන්නෙ? කියන කාරණාව.
බෙහෙත දුන්නම ලෙඩාට ලැබෙන හොඳ ප්‍රතිඵලය බෙහෙතෙන් එන අතුරු ආබාධය නිසා වෙන නරක ප්‍රතිඵලයට වඩා ගොඩක් වැඩිනම් අපි ඒ බෙහෙත ඒ ලෙඩාට දෙනවා. මෙහෙම හිතන්න. අපි හැමෝම දැකල තියෙනවා ප්‍රතිකාර නිසා කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිය පිළිකා රෝගීන්. හැබැයි ඒ අය ජීවත්වෙන්නෙ ඒ බෙහෙත නිසා. ජීවිතයක් බේරෙන වෙලාවක අතුරු ආබාධයක් හැටියට කොණ්ඩෙ යනවා කියන එක නොසලකා හැරිය හැකිතරම්. ඒත් අපි කවදාවත් සුළු ආබාධයකට කොණ්ඩෙ යන බෙහෙතක් දෙන්නෙ නෑ.

දියවැඩියාව ප්‍රෙෂර් එක වගේ ලෙඩවලට දෙන බෙහෙත් වුණත් එහෙමයි. ප්‍රෙෂර් එකට දියවැඩියාවට දෙන බෙහෙත් නිසා වකුගඩු නරක් වෙනවා කියලා සමහරු කියනවා අපිට ඇහිලා තියෙනවා. ඒත් ඇත්ත කතාව තමයි ඒ බෙහෙත හරි විදිහට නොගත්තොත් හරිම ඉක්මනින් දියවැඩියාවයි ප්‍රෙෂර් එකයි නිසා වකුගඩු දෙක නරක්වෙලා යන්න පුළුවන් කියන එක.

ඉතින් වැදගත්ම දේ තමයි බෙහෙත්වලින් එන්න පුළුවන් අතුරු ආබාධ අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. 

පළවෙනිම දේ තමයි වෛද්‍ය උපදෙස් මත විතරක්ම බෙහෙත් ගන්න එක. මොකද වෙන කාටවත් බෙහෙත්වල අතුරු ආබාධ ගැන දැනුමක් නෑ. ඊළඟට කියල තියෙන ප්‍රමාණයට වගේම කියල තියෙන දවස් ගාණට විතරක් බෙහෙත් ගන්න එක.ක්ලිනික්වලට එන සමහර රෝගීන් මාසෙ බෙහෙත් ටික ඉවර වුණාම ක්ලිනික් නෑවිත් ඒ බෙහෙත් ටික ෆාමසියෙන් අරන් දිගටම බොනවා. එහෙම බීල අතුරු ආබාධ එක්ක එන රෝගීන් අපිට හමුවෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දියවැඩියාව ප්‍රෙෂර් වගේ ජීවිත කාලයම දිනපතා බෙහෙත් ගන්න රෝගීන් මාසයකට හෝ දෙකකට සැරයක් අදාළ ක්ලිනික් එකට ගිහින් පරීක්ෂා කරවගෙන බෙහෙත් ගන්නවා නම් අතුරු ආබාධ අඩු කරගන්න පුළුවන්.

හැමෝම දැනුවත් වෙන්න ඕන අනිත් කාරණය තමයි ඕනෑම බෙහෙතක අතුරු ආබාධ ගැන දැනගැනීමේ වැදගත්කම. ඔබට පුළුවන් ඔබේ වෛද්‍යවරයාගෙන් ඔබට දෙන බෙහෙතේ අතුරු ආබාධ ගැන අසා දැනගන්න. එහෙම දැනුවත් වුණාම ඔබට පුළුවන් හරිම විදිහට බෙහෙත පාවිච්චි කරන්න. හැබැයි අතුරු ආබාධ තිබෙන නිසා බෙහෙත් නොගෙන ඉන්න එකනම් ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි.

වෛද්‍ය චන්දන ධර්මරත්න
දකුණු කොළඹ ශික්ෂණ රෝහල
කළුබෝවිල