2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

කළගෙඩියක් වගේ උදරය වාසනාවේ ලකුණක්ද?

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 551

බාල, තරුණ, වැඩිහිටි බේදයකින් තොරව නෙරා ඇති උදරයක් සහිත මිනිසුන් බහුලවීම වාසනාවන්ත දේශයක උරුමයක්ද? කුසේ අහරක් නොමැතිවීම පවා විශාල ලෙස දිස්වන උදරයක් සහිත වීම සෞභාග්‍යයේ සලකුණක් ලෙස සලකන්නෝ සිටිති. උදරය තුළ ඇති ඉන්ද්‍රියන් ආශ්‍රිතව අධික ලෙස මේද පටක ඇතිවීම හා එම පටක තුළ දිගින් දිගට මේදය තැන්පත් වීම විශාල උදරයක් ඇතිවීමට හේතුවයි. උදරයේ අවයව ආශ්‍රිතව මෙසේ තැන්පත් වන මේදය &විසරල් ෆැට්* (Visceral fat) ලෙස හඳුන්වන අතර යහපැවැත්මට ඉතාම හානිකර බව නැවත නැවත තහවුරු වෙමින් පවතී. දියවැඩියාව, හෘද රෝග, අංශභාගය, මානසික රෝග හා පිළිකා රෝග හටගැනීමට ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස ක්‍රියාත්මක වන අතර වියපත්වීමේ ක්‍රියාවලිය උත්තේජනය වීමට හේතුවේ.

ශරීරය තුළ වැයවන ප්‍රමාණය ඉක්මවා ශක්තිජනක ආහාර වන කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ පරිභෝජනය කිරීම නිසා අතිරික්තය මේදය ලෙස මේද පටක තුළ තැන්පත් වීම සිදුවේ. සෛල මේද අංශුවලින් සංතෘප්ත වනවිට එම සෛල තුළට ග්ලූකෝස් අවශෝෂණය කිරීම අර්බුදයකට ලක්වන අතර ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීමට හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. සිරුර තුළ මේද පරිවෘත්තීය අක්‍රමවත්වීම මගින් රුධිරය තුළ සංසරණය වන අහිතකර මේද අංශු ප්‍රමාණය ඉහළ යන අතර රුධිරවාහිනී බිත්තිවල මේදය තැන්පත්වීම ප්‍රවර්ධනය වේ. මන්දගාමී ලෙස හා අඩු තීව්‍රතාවකින් ක්‍රියාත්මක වන ඉන්ගලමේෂන් තත්ත්වයක් මේද පටක ආශ්‍රිතව නිර්මාණය වන අතර මෙම නිදන්ගත ඉන්ගලමේෂන් තත්ත්වය සෑම බෝ නොවන රෝගයක් ඇතිවීමටම බලපාන අතර වියපත්වීම වේගවත් කිරීමට ප්‍රබල ලෙස දායක වේ. අප දිනපතා පරිභෝජනය කරන ආහාර පාන සමග විශාල ලෙස විෂ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළට ඇතුළුවීම සිදුවේ. මෙම රසායනික ද්‍රව්‍යවලින් බහුතරයක් කාබන් අඩංගු කාබනික සංයෝග වන අතර ජලය තුළ දියවනවාට වඩා හොඳින් මේදය තුළ දියවීම සිදුවේ. සිරුර තුළ අධික ලෙස මේද පටක පැවතීම මෙම විෂද්‍රව්‍ය පහසුවෙන් තැන්පත් වන ගබඩාවක් නිර්මාණය වීමට හේතුවේ. පටක හා අවයව ආශ්‍රිතව ඉහළ ඔක්සිකාරක ආතතියක් හා නිදන්ගත ඉන්ගමේෂන් තත්ත්වයක් නිර්මාණය වීමට මෙම විෂද්‍රව්‍ය හේතුවන අතර පිළිකා රෝග ප්‍රමුඛ බෝ නොවන රෝග ඇතිවීම හා වියපත්වීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධය වේ.

මෙම සෞඛ්‍ය ගැටලු නිර්මාණය වීමේ අවදානම පුරෝකථනය කර ගැනීමට තරබාරු බව තක්සේරු කරගැනීම සිදුකළ යුතුවේ. ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය) ගණනය කිරීම මේ සඳහා බහුලව භාවිතා වන ක්‍රමයයි. වඩාත් නිරවද්‍ය පුරෝකථන හැකියාවක් ඇති දර්ශකයක් ලෙස ඉඟටියේ වට ප්‍රමාණය හා ශ්‍රෝණියේ වට ප්‍රමාණය අතර අනුපාතය භාවිතයට පැමිණ තිබේ. ඉඟටියේ වටප්‍රමාණය මැනීමේදී මැනුම් ටේප් පටිය ඉඟටිය ප්‍රදේශයෙන් උදරය වටා යැවිය යුතු අතර සාමාන්‍ය ප්‍රශ්වාස අවස්ථාවේදී මැනීම ලබාගනී. ශ්‍රෝණිය මැනීමේදී තට්ටම් වැඩිපුර පසුපසට නෙරා ඇති ස්ථානය හරහා මැනීම සිදුකරයි. ඉඟිටියේ වටප්‍රමාණය ශ්‍රෝණියේ වටප්‍රමාණයෙන් බෙදීමෙන් ලැබෙන අගය අනුව හෘද රෝග, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම පුරෝකථනය කළ හැකිය.

මැනුම් ටේප් පටියක ආධාරයෙන් මෙම මැනගැනීමට ගතවන්නේ ඉතා කෙටි වේලාවකි. ඔබගේ ඉඟටියේ වට ප්‍රමාණය ශ්‍රෝණියේ වටප්‍රමාණයට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ක්‍රියාත්මක වන්න. රෝගවලින් තොර දිගු දිවියක් උරුම කර ගැනීමට එය මහෝපකාරී වනු ඇත.

කළයුත්තේ කුමක්ද?

• පරිභෝජනය කරනු ලබන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය හා තෙල් ආහාර ප්‍රමාණය විශාල ලෙස සීමා කිරීමට ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න.

• කුස පිරුණු බවට ඇතිවන සංවේදනය ඇතිවීම උත්තේජනය කිරීමට කෙඳි බහුල ආහාර සහ ශාක ප්‍රෝටින සෑම ආහාර වේලක් සඳහාම එක්කර ගැනීමට කටයුතු කරන්න.

• කඩිමුඩියේ ආහාර ගිල දැමීම නවතා දැමිය යුතු අතර ආහාර මුඛය තුළදී සැපීම සඳහා වැඩි වේලාවක් ගත කළ යුතුයි. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීමේ පුරුද්ද අනිවාර්යයෙන් අත්හළ යුතුයි.

• සතියකට දින කිහිපයක් එක් ආහාර වේලක් අත්හැරීම මගින් සිරුරට උපවාස අත්දැකීමක් ලබාදීමට උත්සාහ කරන්න.

• දිනකට විනාඩි 30ක් බැගින් සතියට දින පහක් ස්වායුක ව්‍යායාමවල නියැලෙන්න. ව්‍යායාම කරන කාලය තුළදී කිහිපවරක් තත්පර 30ක් පමණ අධි තීව්‍ර ලෙස අදාළ ව්‍යායාමයේ යෙදීම ප්‍රයෝජනවත් වේ.

• මනෝ සමාජීය පරිසරය තුළ ස්ථුලභාවය වර්ධනයට හේතුවන සාධක පිටු දකින්න.

• ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම හා සිරුරේ හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට උනන්දු වීම වැදගත් වේ.

ඉඟටියේ වට ප්‍රමාණය පිරිමි කෙනෙකුගේ 94cm අගයට හා කොලෙස්ටරෝල් (ලිපිඩ ප්‍රොපයිල්) පරීක්ෂා කරගත යුතු අතර රුධිර පීඩනයද මැනගත යුතුයි. එවිට ඉදිරි ලිපියකදී සාකච්ඡා කරනු ලබන මෙටබොලික් සින්ඩ්‍රෝමයට ඔබ ගොදුරු වී ඇතැයි දැන ගැනීමට හැකියි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00