2023 මැයි 21 වන ඉරිදා

දහස් ගණනකට දැන් ඩෙංගු

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 117

දිනෙන් දින ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමක් සිදුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ජනතාව දැනුම්වත් කිරීම් කළද ඇතැමුන් තුළ තවමත් මේ සම්බන්ධයෙන් පවතින්නේ ඉතා අඩු සැලකිල්ලකි. මේ අතර සමහරු අඩුම තරමින් තම ගෙවත්තේ හෝ මදුරුවන් බෝවන ස්ථාන පාලනය කර කිරීමට උනන්දුවක් නැත..

අද වනවිට ඩෙංගු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල් සංඛ්‍යාවත් එම රෝගීන් සංඛ්‍යාවත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඉදිරියේදී මෙම තත්ත්වය අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍ය අංශ අනතුරු අඟවයි. මේ වනවිට ඩෙංගු රෝගීන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් විසි දෙදෙනෙක් මරණයට පත් වී සිටිති. මෙම සැක සහිත ඩෙංගු රෝගීන් 35,000කට අධික සංඛ්‍යාවකගේ දත්ත වාර්තා වන්නේ රෝහල් පද්ධතිය හරහාය. ඇතැම්විට එවැනි රෝහල්වලින් වාර්තා නොවුණු රෝගයට ගොදුරු වූ රෝගීන් දිවයින පුරා වෙසෙන බවට නිගමනය කළ හැකි බැවින් මේ වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන්ට වඩා රෝගීන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි නිගමනය කළ හැකිය. මේ හේතුවෙන් ඇතැම්විට රෝහල්වල රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා යා හැකි බැවින් මේ සම්බන්ධයෙන් ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වන විටත් වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කයේ ද පිළිවෙළින් ඩෙංගු රෝගීන් වාර්තා වේ.

ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා වීමට නම් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැතිකර ගැනීමට කළ යුතු අතර ධූමායනය කිරීම මගින් ද ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට හැකි බව වෛද්‍ය අංශ ප්‍රකාශ කරයි. නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවද ඇතැම්හු චෝදනා කරති.

''ධූමායනය කිරීම හොඳයි. නමුත් ධූමායනය කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. එය නිසි ප්‍රමිතියකින් තොරව ධූමායනය කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඇතැම්විට එවැනි ප්‍රමිතියකින් තොරව රසායනික ද්‍රව්‍යයක් ධූමායනය කිරීමෙන් මදුරුවන් ඒ සඳහා අනුගත වෙන්නත් පුළුවන්. කාලයක් යද්දී මදුරුවන් එයට හුරුවීමත් සිදුවෙන්න පුළුවන්. එයින් මදුරුවන් විනාශ වෙන්නෙ නැහැ. මේ නිසා ඇතැම්විට මේ ධූමායනය කිරීම සීමා වෙන්න පුළුවන්.'' යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ධූමායනය මගින් ඩෙංගු මදුරුවන් විනාශ වන අතර ඩෙංගු කීටයන් පළමුව විනාශ කිරීම ඉතා වැදගත් වේ. කීටයෝ දින 14ක් වැනි කාලයකින් පසුව මදුරුවන් බවට පත්වෙති. ඒ හේතුවෙන් ධූමායනය කිරීම සිදු කළ යුතු අතර වැදගත්ම කරුණ නම් මදුරු කීටයන් බෝවන ස්ථාන ඉතා ඉක්මනින් විනාශ කර දැමීමට කටයුතු කිරීමයි.

''සෑම නිවෙසකම සතියකට වරක් හෝ ඩෙංගු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරින් දෙදෙනකු හෝ තිදෙනකු ගොස් එම නිවාස හා ගෙවතු පරීක්ෂා කිරීමට යොදවන්නත් එම මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් එම ස්ථාන පිරිසුදු කිරීමට යොදවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාත ඇතුළත ඉහළ ගොඩනැගිලි ඩ්‍රෝන යානා මගින් පරීක්ෂා කර අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් ඩ්‍රෝන යානා මගින් රසායනික ද්‍රව්‍ය ඉසීමත් බස්නාහිර පළාත තුළ මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.'' යැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.පී. විජේසිරි මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ඩෙංගු රෝගයේ තෙවැනි ප්‍රභේදය මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යන අතර මෙහි යම් අවදානම් තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ පිළිබඳව අදහස් දක්වන ඉහළ නිලධාරින් ප්‍රකාශ කරන්නේ පරීක්ෂා කරන ලද නිවාස සියයකින් මදුරු කීටයන් බෝවන ස්ථාන සහිත නිවාස විසි පහක්වත් සොයාගත හැකි බවය. තවමත් මේ සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ ඉතා අඩු සැලකිල්ලක් බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි. 

ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ වාර්තා වන්නේ පාසල් දරුවන් ආශ්‍රයෙනි. ඒ හේතුවෙන් පාසල් සහ උපකාරක පන්ති පවත්වන ස්ථාන පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතුය. මේ දිනවලදී බොහෝ පාසල්වල ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක වන අතර මෙය ඩෙංගු වසංගත සමයට පමණක් සීමා නොකරමින් පාසල් පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළ කාලසටහනකට අනුව දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. නමුත් බොහෝ නිවැසියන්, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සේවක සේවිකාවෝ මෙවැනි වසංගත කාලසීමාවකදී ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරින් නිසාවෙන් තම ගෙවත්ත හෝ ආයතනය පිරිසුදු කර ගැනීමට උත්සුක වෙති. නමුත් ඔවුන් තුළ ඩෙංගු මදුරුවන් මැඩලීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නැත. අද වනවිට ඩෙංගු අධි වසංගතයක් දක්වා දුරදිග යාමට ප්‍රබලම හේතුව වී ඇත්තේ ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන අඩු සැලකිල්ලය.

''මේක බොහෝ ඉහළ නිලධාරින්ගේ නොසැලකිල්ලෙන් වසංගතයක් දක්වා දුරදිග යන තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් චක්‍රලේඛන තිබුණත් මේ තත්ත්වය උදාවීමට පෙර නිසි කාලවලදී රුස් වුණා නම්, අවශ්‍ය පියවර ගත්තා නම් තත්ත්වය මීට වඩා සුබදායී වෙන්න තිබුණා. ඩෙංගු රෝගීන් ඉතා ශීඝ්‍රයෙන් රෝහල්වලින් වාර්තා වීමත් සමඟ ඒ දත්ත වසංගත රෝග විද්‍යා අංශය හරහා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දීමෙන් පසුව ඉහළ නිලධාරින්ට ඩෙංගු රෝග සම්බන්ධයෙන් සොයා බලන්න උනන්දුවක් ඇතිවෙනවා. ඩෙංගු රෝගය ඇතිවෙන්නට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළා නම් මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් මේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ නැහැ. අද වනවිට පළාත් පාලන ආයතන රාශියක් මේ මර්දනය සඳහා සහයෝගය ලබා දෙනවා. නමුත් එවැනි සහාය නොදක්වන ආයතනයක් තියෙනවා. මේ නිසා මේ අධි වසංගතයෙන් බේරීමට නම් රටේ සාමාන්‍ය ජනතාව වගේම අදාළ නිලධාරින්ද නිසි ලෙස කටයුතු කළ යුතු වෙනවා. එහෙම නොමැති වුණොත් ඉදිරියේදි ඩෙංගු වසංගතය ඉතා දරුණු විය හැකියි.'' උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00