2023 මැයි 14 වන ඉරිදා

ඩෙංගු දැන් මාරාවේශ වෙලා!

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 196

රට පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් වාර්තා වෙමින් පවතී. මේ අනුව මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ගෙවුණු සතියේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1800 කට අධිකය. මෙයින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පිළියන්දල, කොළඹ, ගොතටුව, කඩුවෙල සහ මහරගම ප්‍රදේශවලිනි.

''මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් ඩෙංගු රෝගය රට පුරා වර්ධනය වෙලා තියෙනවා. ඩෙංගු රෝග ලක්ෂණ ලෙසින් තද උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ හඳුන්වන්න පුළුවන්. නමුත් කාලයක පටන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය වැනි රෝග ලක්ෂණද පෙන්වනවා. මෙම ඩෙංගු රෝගය සාමාන්‍ය ඩෙංගු රෝගය ලෙස වගේම ඩෙංගු රක්තපාත උණ ලෙසින්ද පවතින්න පුළුවන්. අවසානයේදි ඩෙංගු කම්පන තත්ත්වයට යන්නත් පුළුවන්. ඒ නිසා දින දෙක තුනකට වඩා උණ ඇත්නම්, ඩෙංගු රෝගීන් අහළ පහළ ඇත්නම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. විශේෂයෙන් මේ දිනවලදී දරුවන් සම්බන්ධයෙන් ඉතා ප්‍රවේසම් විය යුතුයි.'' ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

ඩෙංගු යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාදිත මදුරුවෙක් වාහකයකු ලෙසින් ක්‍රියා කරයි. කුඩා මදුරුවකුගෙන් ඇතැම්විට ජීවිතයක් වුවද විනාශ කිරීමට පවා ඩෙංගු රෝගය ප්‍රබල විය හැකිය.

ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ අධික උණ තත්ත්වයයි. දින දෙකකට නොඅඩු කාලයක් තුළ උණ තත්ත්වයේ අඩුවීමක් සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වේ. උණ තත්ත්වයට අමතරව ඇඟපත වේදනාව, ඇස් යට කැක්කුම, හිසේ වේදනාව, අධික නිදිමත ගතිය, තද පිපාසය, වමනය, කුසේ වේදනාව, මුත්‍රා පිට නොවීම හෝ මුත්‍රා පිටවීම අඩුවීම සහ ආහාර ප්‍රතික්ෂේප කිරීම වැනි ලක්ෂණ ද ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

ඩෙංගු රෝගය පතුරුවනු ලබන්නේ ඊඩ්ස් නැමැති මදුරුවා මගිනි. විශේෂයෙන් ඊඩ්ස් වර්ගයේ ගැහැනු මදුරුවෝ ඩෙංගු පතුරුවති. මෙම මදුරුවන් වැඩි වශයෙන් ජනතාව අසල ගැවසෙන්නේ උදෑසන හිරු උදා වී පැය කිහිපයක් යනතුරු සහ හිරු බැසීමට පැය කිහිපයකට පෙරය. මේ නිසාම මේ කාලසීමාව තුළදී මදුරුවන්ගෙන් ප්‍රවේසම් වීම අවශ්‍යය. ඔබ නොසිතූ මොහොතක කුඩා මදුරුවකු හේතුවෙන් ඔබගේ ජීවිතය අවදානමට ලක්වීමට හැකිය.

ඩෙංගු රෝගයේ ඉතා අවදානම් තත්ත්වය ලෙසින් හැඳින්වෙන්නේ ඩෙංගු රක්තපාත උණයි. දින හතකට අඩුවෙන් පවතින තද උණ ගතිය ඩෙංගු රක්තපාත උණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වේ. මේ කාලයේදී රෝගියාගේ ශරීරය පුරා කැසීමක් දක්නට ලැබේ. මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අත්ල සහ පතුලේය. එමෙන්ම මුත්‍රා වැඩි වශයෙන් පහවීමක්ද ඇතිවිය හැකිය.

මෙම රෝග ලක්ෂණවලට අමතරව ඇතැම් අවස්ථාවලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන තත්ත්වය, මළබද්ධය, පාචනය, විටන් විට ඇතිවන උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ ද ඇතිවිය හැකිය.

විශේෂයෙන් ගර්භණී කාන්තාවන්, ළදරුවන්, වයෝවෘද්ධ රෝගීන්, දියවැඩියා රෝගීන්, දිගුකාලීන වකුගඩු රෝගීන්, හෘද රෝගීන්, තැලසීමියා වැනි කල් පවතින රෝග ඇති රෝගීන් මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුය. දින දෙකකට වඩා උණ තත්ත්වය පවතී නම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සැලකීමේදී මෙම මදුරුවන් වැඩි වශයෙන් බෝවන්නේ පිරිසුදු ජලය ආශ්‍රිතවය. විශේෂයෙන් වැසි සමයේදී වැසි ජලය එක්රුස් වන ස්ථානවල ඩෙංගු මදුරුවෝ වර්ධනය වෙති. ඉවතලන පොල්කටු, පොල් කෝම්බ, හිස් යෝගට් කෝප්ප, ඉවතලන ටයර්, ටින්වල පමණක් නොව කුඩා බෝතල් මූඩි තුළද ඩෙංගු මදුරුවන් බෝවිය හැකිය. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජලය එක්රුස් වන ස්ථානවල මෙන්ම නිවෙස්වල මල් පෝච්චිවලද ඩෙංගු මදුරුවන් වර්ධනය විය හැකිය.

ඩෙංගු රෝගියකු විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. ඩෙංගු රෝගියකුට විවේකය ඉතා වැදගත් වේ. මහන්සි වීමෙන්, බර වැඩ කිරීම්වලින් ඈත්වීම අවශ්‍යය. වැඩි වශයෙන් දියර වර්ග පානයට ගැනීමත්, රතු හෝ දුඹුරු පැහැති දෑ පානයට ගැනීමෙන් වැළකීමත් කළ යුතුය. ඒ වෙනුවට කිරි, පළතුරු යුෂ, ජීවනී, කැඳ, සුප්, තැඹිලි වැනි දෑ පානයට එක්කරගත හැක. උණ දින දෙකකට වඩා පවතී නම් රුධිර පරීක්ෂාවක් සිදුකරගත යුතුය. හැකි පමණින් විවේකීව සිටීමත්, තම නිවෙස මෙන්ම තම ගෙවත්ත පිළිබඳව සැලකිලිමත් වීමත්, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දැමීමත් කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

♦ දිශානි ජයමාලි කරුණාරත්න