2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

මොකාගෙ මොකා වුණත් නීතිය කරන්න

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 606

ජනතාවට ඇතුළු වීම තහනම් වන ජීවියට අයත් සංවේදී වනාන්තරයකට බලෙන් ඇතුළු වී තහනම් වැඩ කරපු පුලතිසිපුරේ පැත්තෙ හිටපු මන්ත්‍රී සයිස් මහත්තයකුට බලධාරීන් නීතිය ක්‍රියාත්මක කළා...

මේ සිද්ධියට පසුදා පුලතිසිපුරේ කිට්ටුව තියෙන ඕනෑගම පුදුර් පැත්තෙ සංවේදී වනාන්තරේට රිංගල ගිනි මැලයක් දර්ශන දාල තවත් නොයෙක් ජරමර කරපු ඒ පැත්තෙ ප්‍රබලම දේශපාලන පවුලට සම්බන්ධ යැයි කියන පවුල් තුන හතරක පුත්‍රයන් සහ හිතවතුන් පිරිසක් වන ජීවියේ බලධාරීන්ට මාට්ටු වුණා.

ඒ අය අතරේ පුලතිසිපුරේ ඉන්න හයිකාර සල්ලිකාර ව්‍යාපාරික භවතෙක්ගෙ පුතකුත් ඉඳල... ඉතින් මෙයාල කරපු වැරදි වැඩ ගැන කියල නීතිය ක්‍රියාත්මක කරන්න වනජීවී කස්ටිය හදනකොට මේ කරුණ කස්ටිය නිලධාරීන්ට නොවඳින වැඳුම් වැඳලා සමාව අරන් වනාන්තරෙන් පිටව ආවලු. එයාල එක්ක වනජීවී නිලධාරිත් කැලෙන් පිටතට ඇවිත්...

කැලෑවෙ තහනම් කලාපෙන් පිටවුණු ගමන් මේ පුළුවන්කාර පුත්‍රයන්ට දේශපාලන උණ ඉහට ගහලා එකපාරටම තමන්ට සමාව දුන්න වනජීවී කස්ටියගෙන් ගේම ඉල්ලල වලියට ගියාලු... සල්ලිකාර පුළුවන්කාර කස්ටිය නිසා නිලධාරීන් පුදුම ඉවසීමකින් වැඩ කරන ගමන් තත්ත්වය ඉහළට වාර්තා කළා.

“මොකාගෙ මොකා වුණත් අල්ලල නීතිය හරියට කරන්න” ඉහළින් දැඩි අණක් ලැබුණා. ඒ වෙනකොට මේ බලවත් පුත්‍රයො වෙනුවට ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්න අත්පිට ගෙවීමට තරුණ පිරිසකුත් සූදානම් කරගෙන හිටියලු...

ඒ වුණාට ඉහළ නියෝගය ප්‍රබල වුණා. අන්තිමට කොළ ඉරාගන්න කස්ටියට උසාවි කූඩුවට නගින්න නියම වුණාලු.