2022 ජනවාරි 01 වන සෙනසුරාදා

කාටද අයිති

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 743

සති දෙකක් ඇතුළත එකම කොම්පැනියකට අයිති අහස් යාත්‍රා දෙකක් කඩා වැටිල අනතුරට පත් වුණා... ඒ දෙකම රත්මලානේ සිට ක්‍රියාත්මක වන පෞද්ගලික අහස්යානා සමාගමකට අයිති යානා දෙකක්ලු...

මෙම යානා සමාගම හැඳින්වෙන්නෙ ලස්සන ජපාන මල් වර්ගයක නමකින්. ඒකෙ සැබෑ අයිතිකරු ලෙස පෙනී සිටින්නෙ ජපානයෙත් මෙරටත් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙක්. ඒ වුණාට ඔය සමාගමේ සැබෑ හිමිකරු නැත්නම් අදෘශ්‍යමාන අයිතිකාරයටලු ඒකෙ වැඩිපුර කොටස් අයිති...

උන්නැහේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිලු. 1989 ඉඳල දියවන්නා කවුන්සිලේ ඉන්න ආණ්ඩු ගණනක කැබිනට් පට්ටම් දරාපු.. මේ ආණ්ඩුවෙත් ඒ වගේ තනතුරක් දරණ බොහෝම නිර්මල දේශපාලනයක් කරන උන්නැහේ කෙනෙක්ලු...

තිරය පිටුපස ඉඳගෙන මේ සමාගම පවත්වාගෙන යන නිසා තරුණ නෝනා කෙනෙක් උන්නැහේගෙ කොටස් බලාගන්න සමාගමට පත් කරල කියලත් ආරංචියි. ලංකාවේ ඈත පළාතක් නියෝජනය කරන ආණ්ඩුවෙ ඉන්න කතාකාරයෙක් වන මේ දේශපාලන භවතා හවුල්කාර පක්ෂ අවුල් ඇති නොකරන ලොක්කෙක් කියලයි ආරංචි.

උන්නැහේ කොච්චර ලොක්කෙක් වුණත් සති දෙකක් ඇතුළත ප්ලේන් දෙකක් කඩා වැටුණු නිසා ආණ්ඩුව එයාලගෙ යානාවලට පියාඹන්න තියෙන අයිතිය තහනම් කළා...

ඒ වුණත් මුන්නැහේලගෙ අතහිත නිසා ළඟදිම ආයෙත් ඒ යානාවලට පියාඹන්න අවසර ලැබෙන්න ඉඩ ඇති බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග කියනව.