2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

අලුත් ක්‍රීඩකයෙක්

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 559

ඉදිරියේදී පළාත් බබාලගෙ ඡන්දෙ තිබ්බොත් ඒකට ඉල්ලලා වැඩි ඡන්ද ලක්ෂ තුනක් විතර ගන්නවය කියන මහත්තයෙක් ඉන්නවා... උන්නැහේ මේ ආණ්ඩුවෙ අවුල්කාර හවුල්කාර පක්ෂයක ලොක්කෙක්ලු...

මෙයා දැනට ආණ්ඩුවෙ මැද මට්ටමේ පට්ටමක් දරන කෙනෙක් ඊට කළින් පළාත් සභාවක ලොකු පුටුවේ අසුන් ගන්න චරිතයක්.... හැබැයි මෙයා මෙවර කල්තබාම තමන්ගේ අපේක්ෂකත්වය නිවේදනය කළේ විශේෂ හේතුවක් නිසාලු...

ආරංචියෙ හැටියට ආණ්ඩුවෙ ලොකුම දේශපාලන පවුලෙ පුත්‍රයෙක් මේ පළාත් සභාවෙ ඉහළ පුටුවකට එන්න තරග කරන්න යනවලු... ඒත් තාම කවුරුවත් ඒක නිල වශයෙන් නම් කියලා නැහැ. ඒ ආරංචියට තටු ලැබෙන්න කළින් මෙතුමා තමන්ගෙ ආරංචිය ලීක් කළේ කවුරු ආවත් තමනුත් සටනක් දෙන බව කියන්නලු.... මේ පළාත් ඡන්ද කතාව පස්සෙ රටේ ලොකුම පුටුවක කලින් වාඩිවෙලා හිටපු ඈත පළාතක උන්නැහේ කෙනෙකුත් ඉන්න බවට තොරතුරු කියනව... ඉතාම බෑඩ් විකට්ටුවක සෙල්ලම් කරන මේ දේශපාලන ලොක්ක ගැන බලවත් තැන්වල දැඩි අවධානයක් යොමුවෙලා කියලත් සමහරු කියනව.

කොහොම නමුත් අන්තිමේදී යට කී ප්‍රබල දේශපාලන පවුලේ පුත්‍රයගෙන් මේ හුටපටේ ගැන මාධ්‍ය කස්ටිය ප්‍රශ්න කළා. “අනේ මම නම් දන්නෙ නැහැ. මගේ අරමුණකුත් නැහැ. සැලසුමකුත් නැහැ...” ඔහු ඒකට උත්තර දෙමින් කිව්ව. එයාගෙ මේ උත්තරේ හරිද කියල බලමු කියලයි එයා එක්ක සටනට එනවයි කියපු දයාවට බර දේශපාලන ලොක්කා දැන් කියන්නෙ.