2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

දොට්ට දානවලු

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 996

අධ්‍යාපන අංසයට සම්බන්ධ ඉහළම නිලධාරියෙක් ගෙදර යවන්න තීන්දු කරලලු... එයා ඒ අංසෙ එක්තරා වැදගත්ම දෙපාර්තමේන්තුවක් භාරව ඉන්න කෙනෙක්ලු...

උන්නැහේගෙ කන්තෝරුවෙන් දරුවන්ගෙ අනාගත ඉරණම තීන්දු කළත් එතන වැඩ සහමුලින්ම ඇනිල කියල හතර අතින්ම පැමිණිලි ගොඩයි. ඒ වගේම එතනට අරක් ගෙන මාර වැඩ කරන වේර - ගොඩක් ගැනත් තොරතුරු බුද්ධි අංස කස්ටියම සොයාගෙනලු...

හොඳ ඉතිහාසයක් තිබෙන මේ දෙපාර්තමේන්තුවෙ හිටපු දක්ෂ ලොක්කා යහපාලන කාලෙ දොට්ට දැම්මෙ සුදුසුකම් නැති දේශපාලන කස්ටියකට පත්වීම් නුදුන්න නිසාලු... කොහොම නමුත් ඊට පස්සෙ එතනට අරක් ගත්ත මුන්නැහේ ගැන ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙන්ම දැඩි පියවර ගන්න යනකොට ඒකට කොක්ක අදින (සීතල) දේශපාලනේ කරන අධ්‍යාපනේටම සම්බන්ධ ලොක්කෙක් ඉන්නවලු.

මේ දේශපාලන ලොක්කා ඔය කියන දෙපාර්තමේන්තු ප්‍රධානියා රැකගන්න දෙන සටන ගැන දෙපාර්තමේන්තුවෙම අය නොයෙක් සැක පහළ කරනවා. ඒකට හේතුව එයා මීට කලිනුත් ඔය අංසෙ භාරව ඉන්නකොට එයාලා කරපු වැඩ කිඩ නිසා...

කොහොම වුණත් කවුරු විරුද්ධ වුණත් දරුවන්ගෙ යහපත තකා ඔය දෙපාර්තමේන්තු ලොක්කා පන්නන්න ගත්ත තීන්දුව වෙනස් නොකරන්න රටේ මහ කන්තෝරුවෙන් අනුමැතිය ලැබිලා.