2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

කට නිසා නැහෙන හැටි

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 661

ඉඩම්වලට සම්බන්ධ ආණ්ඩුවෙ එක්තරා කොමිසමක ලොක්කෙක් අලිය වෙන්න ගිහිල්ල හොට බිම ඇනිලය කියල කතාවක් යනව. උන්නැහේ ආණ්ඩුවෙ ඉහළ මට්ටමේ අධ්‍යක්ෂ පට්ටමක් දරමින් රටේ ඉහළම තනතුරැ දරන්නන්ට ප්‍රසිද්ධියෙ බණින පොරක්ලු...

එච්චර විතරක් නොවෙයි එයාගෙ මේ පුරාජේරු කතාවලදී තමන් හොඳ හොරෙක් බව කියමින් කරපු සමහර සොරකම්වල දිග පළල කියන්නත් බය නැති පොරක් කියල ආණ්ඩුවෙ ඉඩම්භාර ඇමැති අංසෙ කස්ටිය කියන්න ගත්ත.

අන්තිමේදී මෙයාගෙ හොට පැටලුණා. මෙයා සුපුරුදු විදියට තමන් හොඳ හොරෙක් බව කියමින් ආණ්ඩුවෙ මහ කන්තෝරැවෙ ලොකු ලොකු අයටත් එතන ලේකම්වරුන්ට බලු බැණුම් බණින කතාවක් කවුද හොරෙන් පටිගත කරල සමාජ මාධ්‍යයට මුදාහැරියෙ මෙයාගෙ නිරැවත ලෝකෙටම පෙන්වාදෙන්නයි.

මේ හඬ පටිය පැය ගණනක් තුළ ආණ්ඩුවෙ ඉහළම තැන්වලටත් අහන්න ලැබුණ. ඒ සැණින් විෂය භාර ඇමැති තැනට නියෝග ලැබුණා මේ තැනැත්තා වහාම පන්නන්න කියලයි.

මේ පුද්ගලයා විෂය භාර ඇමැති සයිස් මහත්තයගෙත් හොඳ හිතවතාලු... ඒත් ඇමැති තැනට බේරගන්න බැරි සැර කුණාටුවක් වගේ ඉහළින් විරෝධය ආව...

අන්තිමේදී තමන් හොඳ හොරෙක් කියපු අධ්‍යක්ෂ තැන එක පෑන් පාරින් දොට්ට දැම්මලු. ඒ බව වහාම ඉහළටත් වාර්තා කරල කියලයි තතු දත් අය කියන්නෙ.