2021 ජුලි 10 වන සෙනසුරාදා

මන්තිරිතුමා “මිසිං”

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 529

ලංකාවේ උගතුන් වැඩිපුර බිහිකරපු දකුණු පළාතෙ දිස්ත්‍රික්කයකින් ලක්ෂයකට වැඩිය මනාප අරන් දියවන්නා කවුන්සිලේට පත්වුණු මන්තිරි සයිස් මහත්තයෙක් ඉන්නව... හොඳට (ෂර්ට්) කලිසම් ඇඳල ඉන්න මුන්නැහේ දේශපාලනේට වඩා ප්‍රසිද්ධ වෙළෙඳාමටලු...

ගිය කවුන්සිල් ඡන්දෙදි හොඳට සල්ලි බාගෙ විසිකරපු මෙයා මනාප ලැයිස්තුවෙ හිටපු පළාතට වැඩක් නොකරන ප්‍රබල චරිත ලැයිස්තුවෙ පහළට ඇදල දැම්ම...

වෙළෙඳාමෙන් මුදල් සෙවීම ගැන වාර්තා කියපු මුන්නැහේ දැන් පාර්ලිමේන්තුවෙන් වාර්තාවක් කියලලු...

ඒ වාර්තාව තිබුණෙ දියවන්නාවට පත්වෙලා දැනට මාස 10ක් විතර ගතවුණත් එකම දවසක්වත් මැතිසබේ කතා නොකිරීමෙන් කියලයි ආරංචි...

ඒ වගේම මුන්නැහේ නියෝජනේ කරන දකුණෙ සුප්‍රකට මැතිවරණ කොට්ඨාසයටත් එන්නෙ නැතිලු. කාර්යාලයත් නිවසත් වහල පොලිස් භටයො ආරක්ෂාවටත් හිටියලු...

නමුත් එයාට ඡන්දය දුන් ජනතාව මේ නිවසට ඇවිත් ආරක්ෂක භටයන්ගෙන් හැම තිස්සේම මන්ත්‍රීතුමා ආවද කියල අහන්න ගත්තලු. එයාලට හරි හමන් උත්තර දීගන්න බැරැව ආරක්ෂක භටයො ටැග් ගැහෙනකොට ජනතාව සිකියුරිටි කස්ටියටත් වලි අදින්න පටන් අරන්... ඒ නිසා ආරක්ෂක භටයන්ට (මුර) රස්සාව එපාවෙලා මන්ත්‍රීතුමාට පැමිණිලි කළාලු...

ඒ පාර මන්තිරිතුමා ප්‍රශ්නය විසඳුවෙ ගෙදර දොරවල් තඩි ඉබ්බො දාල වහල ආරක්ෂක භටයො ඉවත් කර දැමීමෙන්ලු...

දැන් ආරක්ෂකයොත් නැති නිවස ළඟට ඡන්දදායක ජනතාව හූල්ල හූල්ල යනවලු... එතුමා ගම අමතක කරල කොළඹ බිස්නස් කරමින් ලක්ෂෙට (කොඩිය) දාල (තුවක්කු) අතින් ගත් ආරක්ෂකයො එක්ක වැජඹෙන බව ආරංචියි. කවුරුහරි ගමේ ඡන්දදායකයා එපාවෙලාද කියල ඇහුවොත් උන්නැහේ කදිම උත්තරේකුත් දෙනවලු.

“මම ඡන්දෙ ගත්තෙ නිකම් නෙවෙයි. හැමෝටම ඒවට ගෙව්ව. ඒ ගනුදෙනුව ඉවරයි.” ඒකයි එයාගෙ උත්තරේ...

ඒත් මුන්නැහේ නියෝජනේ කරන්නෙ ආණ්ඩු පක්ෂයයි. ආණ්ඩුවෙ මේවා ගැන හොයන්න කෙනෙක් නැතිවීම නිසා ආණ්ඩු පක්ෂයට වැඩිම මනාප දුන්න දකුණෙ නිල්වලා ගඟබඩ දිස්ත්‍රික්කෙ ජනතාවට නම් මල පැනලලු ඉන්නෙ ඊළඟ ඡන්දෙ එනකම්.