2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ගුවන් හමුදා පාපැදි සවාරිය 5,6,7 දිනවලදී

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

21 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය 2020 ගුවන් හමුදා 69 වැනි සංවත්සරයට සමගාමීව මාර්තු 5, 6 සහ 7 දිනයන්හිදී පැවැත්වේ.

මෙවර පාපැදි තරගය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ පාපැදි තරගකරුවන් 150කට අධික ප්‍රමාණයක් සමඟ අන්තර්ජාතික පාපැදි තරගකරුවන් රැසක් ද සහභාගී වීමට නියමිතය. පිරිමි පාපැදි සවාරිය අදියර තුනකින් 5, 6 සහ 7 දිනයන්හිදී කිලෝමීටර් 444.62ක දුරකින් පැවැත්වීමට නියමිත අතර 9 වැනි කාන්තා පාපැදි සවාරිය 7 වැනිදා පුත්තලම සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 110ක දුරකින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පිරිමි පාපැදි සවාරිය මාර්තු 5 වැනිදා කොළඹ සිට මහනුවර දක්වා දුර කිලෝමීටර් 109.53කින් (නිදහස් ධාවන කලාපය කිලෝමීටර් 15), 6 වැනිදා මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා දුර කිලෝමීටර් 199.05කින්, (නිදහස් ධාවන කලාපය කිලෝමීටර් 16), 7 වැනිදා ත්‍රිකුණාමලය සිට අනුරාධපුරය දක්වා දුර කිලෝමීටර් 136.04කින් (නිදහස් ධාවන කලාපය කිලෝමීටර් 20) ද වශයෙන් පැවැත්වේ.

සමස්ත තරගයේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ජයග්‍රාහකයන් සඳහා රුපියල් 300,000 – 200,000 සහ 100,000 බැගින් ජයග්‍රාහකයන් 25 දෙනකුට මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය. සමස්ත ස්ප්‍රින්ට් ශූරතාවය, අදියර ත්‍යාග, සමස්ත කඳු ශූරතාව, සමස්ත කණ්ඩායම් ශූරතාව, ජයග්‍රාහී කණ්ඩායම අනුශූරතාව, සමස්ත යොවුන් ක්‍රීඩකයා (23 න් පහළ) වශයෙන් ත්‍යාග පිරිනැමේ.

කාන්තා පාපැදි තරගාවලියේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ජයග්‍රාහකයන් සඳහා රුපියල් 100,000 – 50,000 සහ 30,000 බැගින් දස දෙනකුට වටිනා මුදල් ත්‍යාග පිරිනැමේ. එමෙන්ම ස්ප්‍රින්ට් ශූරතාව, කණ්ඩායම් ශූරතාව, ජයග්‍රාහී කණ්ඩායම සහ අනුශූරතාවය වශයෙන් ත්‍යාග පිරිනැමේ. ත්‍යාග ප්‍රදානෝත්සවය මාර්තු 7 වැනිදා සවස අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 සේයාරුව - සුමුදු හේවාපතිරණ
   සමන්ත ප්‍රදීප් විල්තෙර