2022 දෙසැම්බර් 11 වන ඉරිදා

චෝදනා සහ අඳෝනා මැද උණුසුම් වන ක්‍රිකට්

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 233

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවට දැනුවත්ව සිටින බවත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බවත් දැනුම්දෙමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පසුගිය සතියේ යොමුකර තිබූ ලිපියත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව නැවත උණුසුම් විය.

එම ලිපියේ උණුසුම මැකී යෑමටත් මත්තෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ කාන්තාවන් තිදෙනෙක් සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි පළකළ ප‍්‍රවෘත්තියක් සමග උණුසුම්ව තිබූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය ගිනියම් විය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මෙම අනතුරු ඇඟවීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සුළුවට තක්සේරු කරන්නේ නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනතුරක් අත ළඟ බව අමුතුවෙන් කිවයුතු නැත.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දේශපාලන බලපෑම් ඇති බවට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තීරණය කළහොත් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනවා නිසැකය. ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රිකට් තේරීම් සඳහා කරන්නේ යැයි කියන බලපෑම් අයි.සී.සී.ය තරග පාවාදීමට කරන උත්සාහය ලෙස සැලකීමේ අවධානමක්ද මතුවිය හැකිය.

එවැනි තහනමකට ලක්වුවහොත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට අයි.සී.සී.ය මෙහෙයවන ලෝක කුසලාන තරගාවලි ඇතුළු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිවලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වන අතර අයි.සී.සී.යෙන් ලැබෙන අරමුදල්ද අහිමිවේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් වන අතර නැවත අයි.සී.සී. සාමාජිකත්වය ලබාගැනීමට දිගු කාලයක් බලාසිටීමට සිදුවේ. එවැනි තහනම් තුළින් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියක් අහිමි වුවහොත් එය දරාගත නොහැකි පාඩුවකි. 

ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මේ අතරවාරයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ආයතනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් යොමුකළා යැයි කියන ලිපියකට පිළිතුරු ලිපියක් යොමුකර තිබුණි. ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයා එම ලිපිය ප‍්‍රධාන කරුණු 4ක් යටතේ මෙසේ යොමුකර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි. 

1. දේශපාලන මුහුණුවරකින් යුක්තව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් පදනම් විරහිතව සිදුකරනු ලැබූ විවිධ චෝදනා සහ ප‍්‍රකාශයන්.

2. නිලවරණයක් තුළින් පත්වී කටයුතු කරන ක‍්‍රිකට් ආයතනයේ පරිපාලකයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පදනම් විරහිතව සිදුකරනු ලබන ද්වේෂසහගත ප‍්‍රකාශ.

3. ක‍්‍රීඩා පනත යටතේ ඇතිකර ඇති විවිධ තනතුරු සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනයට තරග කර පරාජය වූ සහ එම හේතුව මත බැඳියාවන් අතර ගැටුමක් ඇති අර්ජුන රණතුංග මහතා වැනි පුද්ගලයින් දේශපාලනික වශයෙන් පත්කිරීම.

4. අනිකුත් සියලු ආකාරයේ මැදිහත්වීම්.

එහිදී අමාත්‍යංශ ලේකම්වරයා කරුණු හතරටම පිළිතුරු සපයා තිබූ අතර අර්ජුන රණතුංග මහතා ක‍්‍රීඩා පාලක සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීම පිළිබඳව මෙසේ පිළිතුරු සපයා තිබුණි. 

''අර්ජුන රණතුංග මහතා ලංකාවේ කිසිදු දේශපාලනික පක්ෂයක තනතුරක් හොබවන්නේ නැති බව අවධාරණය කරමි. 1973 අංක 25 දරන ක‍්‍රීඩා පනතේ 31(11) වගන්තිය සහ 4(1) වගන්තිය යටතේ ක‍්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එතුමාගේ අභිමතය පරිදි නීත්‍යානුකූලව ඕනෑම අයෙකු ක‍්‍රීඩා සභාවට පත්කිරීම ගරු ඇමතිතුමාගේ අයිතියකි. ගරු අමාත්‍යතුමාගේ නීත්‍යානුකූල අයිතියට එරෙහිව අභියෝග කිරීමට ඔබට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැත.''

ක‍්‍රීඩා අමාත්‍ය ලේකම්වරයාගේ ඉහත පිළිතුර පිළිබඳව තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට විවෘත අවස්ථාවක් ලබාදීම වඩාත් කාලෝචිත යැයි සිතමි.  

''ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් යම්කිසි දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇත්නම්, පළමුව කළයුතුව  ඇත්තේ  අදාළ අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීමයි. අමාත්‍යවරයාගෙන්ද ඔබට සහනයක් නොලැබිණි නම්, ගරු ජනාධිපතිතුමාට පැමිණිලි කිරීමට හැකියාවක් තිබිණි. එසේත් නොමැති නම් අධිකරණ ක‍්‍රියාමාර්ගයකට එළඹීමට ඔබට අවස්ථාව තිබිණි. ශ‍්‍රී ලංකාව තුළ සිදුවුණු සිදුවීමකට මෙරට නීති රීති අනුව නීත්‍යානුකූලව ක‍්‍රියා කරනවා හැර, ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනයට ඔබ සඳහන් කර ඇති පැමිණිල්ලේ කිසිදු කරුණකට එරෙහිව ක‍්‍රියාකිරීමට එම ආයතනයට නෛතික බලයක් නොමැති බව සඳහන් කරමි'' ලෙස එම ලිපියේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ක‍්‍රීඩා පරිපාලනය පිළිබඳව හසළ දැනුමක් ඇති ක‍්‍රීඩා පරිපාලකයෙක් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මෙවැනි පිළිතුරු ලිපියක් යොමුකිරීම පිළිබඳව පුදුමයක්ද නිර්මාණය කරයි. 

අන්තර්ජාතික ක‍්‍රීඩා සංගම්වලට ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව කිසිදු වගකීමක් නොමැති බව ශ්‍රී ලංකා පාපැදි සංගමයේ හිටපු සභාපතිවරයා ලෙස අමල් හර්ෂ ද සිල්වා මහතා ඉතාමත් හොඳින් දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ක‍්‍රීඩා සංගම් එසේ නැතිනම් ජාතික ඔලිම්පික් කමිටුව අතර ඇතිවූ ගැටුම්වලදී අන්තර්ජාතික ක‍්‍රීඩා සංගම් ගත් පියවරයන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ඉතාමත් හොඳින් දන්නා නිලධාරියෙකි. මෙම ලිපි හුවමාරුවෙන් තවදුරටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අගතියට පත්වීම වැළැක්විය නොහැක. 

ශම්මි සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියට කාන්තාවන් තිදෙනෙකු සහභාගි කරවූයේ යැයි එල්ල වී ඇති චෝදනා පිටුපසද පක්‍ෂ විපක්‍ෂ දේශපාලන බලවේග සිටින බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. දේශපාලනඥයන්ට චෝදනා එල්ල කරන ආකාරයටම ‘සිවිල් සංවිධාන’ යැයි කියාගන්නා පිරිසක් ගොස් ශම්මි සිල්වා මහතාට එරෙහිව අදාළ චෝදනාව සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පසුගියදා පැමිණිල්ලක් කර තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පිළිබඳව පැමිණිල්ලක් තිබේ නම්  ක‍්‍රිකට් ආයතනයේ සාමාජික ක‍්‍රීඩා සංගමයක සාමාජිකයෙක්ට පමණක් අදාල බලධාරීන් වෙත පැමිණිල්ලක් කළ හැකිය. මෙවැනි පැමිණිළි තුළින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සැකය තවදුරටත් තහවුරුවනවා මිස විසඳුමක් නොලැබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය මාස කීපය තුළ ක‍්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 220ක් හෙවත් රුපියල් කෝටි 22ක් පරිත්‍යාග කර ඇති අතර ක‍්‍රිකට් ආයතනය සතුව ඇති ඩොලර් මිලියන 40ක් හෙවත් රුපියල් කෝටි 1500කට ආසන්න දැවැන්ත අරමුදලට විදීම ඇතැමුන්ගේ සැලැස්ම බවද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හෝ වෙනත් නිලධාරියෙක් කිසියම් වරදක් කර ඇත්නම් ක‍්‍රීඩා අමාත්‍යංශයට කටයුතු කිරීමට ඕනෑතරම් බලතල තිබියදී ලිපිහුවමාරු කිරීම හාස්‍යය දනවන්නකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශම්මි සිල්වා මහතා සහ ක‍්‍රිකට් විධායක කමිටුව සම්බන්ධයෙන් පළවී ඇති වාර්තා අසත්‍ය බවත් එම වාර්තා සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය. 

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී ධනුෂ්ක ගුණතිලක සහ චාමික කරුණාරත්න සම්බන්ධ සිද්ධි යොදාගෙන ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් පාලනය කිරීමට ක‍්‍රීඩා බලධාරියෙක් උත්සහ කළ බව පසුගිය කාලය පුරා දැකගත හැකිවිය. ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා පසුගියදා ජනමාධ්‍යයට කළ හෙළිදරව්වකින් ඇතැම් ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රීඩකයන්ගේ කර මතින් ඔවුන්ගේ පෞද්ගලික ඉලක්කයන් කරා ළඟාවීමට උත්සහ කරන බව පැහැදිලි විය.  

මෙම සියලු චෝදනා සහ අඳෝනා පැවතියද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ලංකා ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් (එල්.පී.එල්.) සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පසුගිය අඟහරුවාදා ආරම්භ කළ අතර එම තරගාවලියද පසුගිය සතිය අවසන් වෙද්දී වඩාත් උණුසුම්ව පැවැත්වෙමින් තිබුණි. 

I සටහන: යොහාන් භාසුර