2022 නොවැම්බර් 27 වන ඉරිදා

ජනපති ළඟටත් යන්න හදන ක්‍රිකට් පිලේ පීඩනය

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 325

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය සතියේ දෙකොන දැල්වුණු විලක්කුවක තත්ත්වයට දැඩිව උණුසුම් වී තිබුණි. ඕස්ට්‍රේලියාවෙදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ඇතැම් ක‍්‍රීඩකයන් විනය විරෝධී ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධීන් සමඟ ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ඇතැම් ක‍්‍රීඩා බලධාරීන් සමස්ත ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අපහසුතාවට පත්කර ඇති බවට බොහෝදෙනා චෝදනා කරති.

ක‍්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ඔවුන්ට එල්ල වී ඇති පීඩනය පිළිබඳව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට ක‍්‍රීඩකයන් අවස්ථාවක් ඉල්ලා ඇති අතර ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙක් පැවසුවේ ක‍්‍රිකට් කණ්ඩායමට වේලාවක් වෙන් කිරීමට නියමිතව ඇති බවය.

ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක වීඩියෝ දර්ශන අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය සමාජ මාධ්‍යයකට මුදාහැරීම විශේෂයෙන් නායක දසුන් ශානක දැඩි අපහසුතාවට පත් කර තිබිණි.  අමාත්‍යවරුන්ට, හිටපු අමාත්‍යවරුන්ට, හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට මෙන්ම දසුන් ශානකටද ආත්ම ගෞරවයක් තිබිය යුතු බව සියලුම දෙනා අවබෝධකර ගත යුතුව තිබේ.  

තත්ත්වය එසේ තිබියදී තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු කරමින් වසරක අත්හිටවූ ක‍්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය බදාදා තීරණය කිරීමත් සමඟ තත්ත්වය තවත් උණුසුම් විය. ඔහුට එම තහනමට අමතරව ඇමරිකානු ඩොලර් 5000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 18 කට අධික දඩයක්ද පනවනු ලැබීය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුව චාමික චෝදනා ගණනාවකට වැරදිකරු බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී තිබුණි. ඒ අනුව විධායක කමිටුව චාමිකට මෙම දඬුවම පැනවීය.

චාමික කරුණාරත්න ‘කැසිනෝ’ චෝදනාවකට අමතරව සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූ චෝදනාවක්ද ඇති බවත් මෙම දඬුවම එම චෝදනාවට ලැබුණු බවත් ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දඬුවම පනවනවිටත් චාමික කරුණාරත්න ටී10 ලීග් තරගාවලියට සහභාගි වීමට අබුඩාබි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටි බව දැනගන්නට තිබේ.    

එහි උණුසුම මෑකී යෑමටත් මත්තෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේදී පසුගිය සිකුරාදා ආරම්භ වූ එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න ඇතුළත්ව නොමැතිවීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය අවසන් කර පසුගිය 6 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියද තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ පැමිණියේ මීට දින කීපයකට පෙර බවද දැනගන්නට තිබේ. මෙම තත්ත්වය හමුවේ එක්දින සංචිතයට පසුගිය බදාදා රාත‍්‍රී දක්වා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොතිබුණි.

චාමික හැරුණු විට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් එක්දින සංචිතයට ඇතුළත් කිරීමේ සූදානමකටද ක‍්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් විරෝධය එල්ල වූ බවද දැනගන්නට ලැබුණි. තේරීම් සම්බන්ධ ගැටලුවට ක‍්‍රිකට් නොව ව්‍යාපාරික කරුණක් හේතුවෙන් වූයේ යැයි කියන විරසකයන්ද බලපා ඇති බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබුණි. 

කිරි සහ පැණිවලටත් වඩා සමීපව සිටි තේරීම් කමිටුවේ සාමාජිකයෙක් සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලයකට මෑතකදී පත් කළ නිලධාරියෙක් විරසක වීම සංචිතයට අනුමැතිය නොලැබීම පිටුපස ඇති බව දැනගන්නට ලැබුණි.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වඩාත් වගකීම් දරන නිලධාරීන් නයි පොළොංගු මෙන් හැසිරෙන්නේ නම් ක‍්‍රීඩාවේ ආනාගතයට දෙවියන්ගේම පිහිට බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම තත්ත්වය මත ඉදිරි සති දෙක තුළ තේරීම් කමිටුවේ වෙනසක් විය හැකි බවට ඉඟි පළකළ හැකිය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇතැම් ක‍්‍රීඩකයන් කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට ඇතුළත් කිරීමෙන් පසුව කණ්ඩායමේ නිලධාරීන් අතර මෙන්ම ක‍්‍රීඩකයන් අතරද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවූ බව නම හෙළිකළ නොහැකි ක‍්‍රීඩකයෙක් ‘දේශය’ට පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඩ් මහතාට ඉහළින් තවත් පුහුණුකරුවෙක් පත්කිරීමෙන් කණ්ඩායමේ වගකීම ගැනීමට සිල්වර්වුඩ් මැලිවූ බවත් ඒ බව ඔහු ක‍්‍රීඩා බලධාරියකුට පවසා ඇති බවත් එම ක‍්‍රීඩකයා කීය. 

''විශේෂඥ පුහුණුකරු වූ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ හිටපු ක‍්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ටිසෝරියක් බවට පත් කළා. සමහර දවස්වලට පැය දෙක තුන රුස්වීම් තියෙනවා. කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රීඩකයෙක්ට ඔහු සියලුම ක‍්‍රීඩකයන් ඉදිරිපිට බැණ වැදුණා'' යැයි එම ක‍්‍රීඩකයා සඳහන් කළේය. 

මෙම හිටපු ක‍්‍රීඩකයා ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සමඟ ක‍්‍රීඩා කරන කාලයේ සහ මෑතකදී සිදුවූ ක‍්‍රිකට් ගිවිසුම් සම්බන්ධ සිද්ධීන්වල ‘ඇරියස් කවර්’ කරන බව ද එම ක‍්‍රීඩකයා වැඩිදුරටත් කීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප‍්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලිය කඩාකප්පල් කිරීමට ඉහළ සිද්ධිවලට හරි හරියට සම්බන්ධ ක‍්‍රීඩා ප‍්‍රධානියෙක් පසුගිය සතියේ දැරෑ උත්සහයන් පිළිබඳවද මේ වනවිට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. 

අදාළ ක‍්‍රීඩා ලොක්කා එම තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්ට පෞද්ගලිකව කතා කර එල්.පී.එල්. තරගාවලියට සහභාගි නොවන ලෙස දැනුම් දී ඇති බවත් එයට තානාපති කාර්යාලයකට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ද සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ.

එම කණ්ඩායම් හිමිකරුවන් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් සාකච්ඡා කර තත්ත්වය පාලනය කළ බවද දැනගන්නට තිබේ. ආසියානු කුසලාන ජයග‍්‍රහණය කර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයද සාර්ථකව අවසන් කර ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලැබූ බව බොහෝ දෙනකුට අමතක වී තිබේ. පෞද්ගලික න්‍යාය පත‍්‍ර ඉදිරියට ගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආගම බදු ක‍්‍රීඩාව වන ක‍්‍රිකට් ක‍්‍රීඩාව කිසිවකු හෝ විනාශ කිරීමට තැත් කරන්නේ නම් එය ජාතික අපරාධයකි.

■  සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00