2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආබාධ පෙරහර!

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 101

“ෆිට් බෝලර්ට වඩා කැමැත්තට ප්‍රමුඛතාව ලැබුණම ඔහොම වෙනවා. බිනුර සහ අසිත යන දෙදෙනාගෙන් වඩාත් ‘ෆිට්’ පන්දු යවන්නා අසිතයි. නමුත් බොහෝදෙනාගේ කැමැත්ත තිබුණේ බිනුරට නිසා ඔහු ඔස්ට්‍රේලියාවට යැව්වා. බිනුර පන්දු කීපයක් හයියෙන් දැම්මා විතරයි ආබාධයකට ලක්වුණා. දැන් අසිතව යවලා තියෙනවා” යැයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සමීප කටයුතු කරන පුහුණුකරුවෙක් ‘දේශය’ට පැවසීය.

ඔස්ට්‍රේලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකා පිටුපස එකා පෙරහරක ස්වරූපයෙන් ආබාධයන්ට ලක්වීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව කළ විමසුමකදී පුහුණුකරු එසේ පැවසීය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර සහ අනෙක් ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නා වන ළහිරු කුමාර ආබාධයක් සහිතව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල නිවේදනය සාක්‍ෂි දරයි.

මෙම සටහන තබන මොහොත වනවිට ශ්‍රී ලංකා පිලේ ස්ථිර සාමාජිකයන් වූ ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර සහ දිල්ෂාන් මධුශංඛ ආබාධයන් හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර ආබාධයකට පත්වූ දිල්ෂාන් මධුශංඛ වෙනුවට ආදේශ කළ බිනුර ප්‍රනාන්දුද ආබාධයකට ලක්ව නැවත ශ්‍රී ලංකාවට හරහා එවීම මෙහිදී වඩාත් කැපී පෙනේ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ දකුණතින් වේගපන්දු යවන ප්‍රමෝද් මධුෂාන් දෙපළද ආබාධයන්ට ලක්ව සිටින අතර ඔවුහු ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක, නැමීබියාවට එරෙහිව පැවැති තරගාවලියේ පළමු තරගයෙන් පසුව මස්පිඬු ඉරීමේ ආබාධයකට ලක්වීම නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවූ අතර ධනුෂ්කගේ ස්ථානයට අෂේන් බණ්ඩාර සංචිතයට පැමිණියේය.

ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව දක්වා පැමිණි ගමනේ වඩාත් කැපී පෙනුණු වේගපන්දු යවන්නා වූ දිල්ෂාන් මධුශංඛ පුහුණු තරගයකට පමණක් සීමාවුණ ආබාධයක් හේතුවෙන් නැවතත් පැමිණීමට සිදුවිය.

දුෂ්මන්ත චමීර, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයට එරෙහිව තරගයේදී කඩුලු තුනක් දවාගෙන සිටියදී ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඒ වෙනුවට කසුන් රාජිත කැඳවනු ලැබීය. දුෂ්මන්ත චමීර පාදයක   ශල්‍යකර්මයකට ඔස්ට්‍රේලියාවේදී ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

 මෙම තත්ත්වයෙන් ගැලවීමට නිරෝෂන් දික්වැල්ල, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු මේ වනවිට ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතර ආදේශ කිරීමට තරුණ ක්‍රීඩකයන් රැසක් සිටීම නිසා ශ්‍රී ලංකාවට මඳ අස්වැසිල්ලක් බවට පත්ව තිබේ.

වඩාත් ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ තබා ආබාධ සහිත ක්‍රීඩකයන් කීපදෙනෙක් ලෝක කුසලාන තරගාවලියට රැගෙන යෑමත් ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින සීත සහ වැසි සහිත කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔරොත්තු නොදීමත් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබේ.

ආබාධ සහිත අත්දැකීම් ඇති ක්‍රීඩකයන් රැගෙන ගියේ නම් ඔවුන් ආරක්‍ෂා කරගනිමින් වඩාත් තීරණාත්මක තරගවලට පමණක් යොදා ගැනීමේ උපක්‍රම භාවිතා කළ යුතුව තිබුණද එවැන්නක් දැකිය නොහැකිය. එවැනි පීඩාකාරී තත්ත්වයක් තුළ වුවද දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල මෙම සටහන තබන මොහොත වනවිට සහභාගි වූ තරග දෙකේදී අයර්ලන්තය පරාජය කරමින් පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියේය.

සත්කාරක ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල හමුවේ පසුගිය අඟහරුවාදා ලැබූ දැවැන්ත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පිල මානසිකව මඳක් පසුපසට තල්ලු වී සිටි අතර ශ්‍රී ලංකාව ‘සුපිරි 12’ වටයේ සහභාගි වන තුන්වැනි තරගය සෙනසුරාදා (29) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබුණි.

ප්‍රසාද ලකුණු 3 බැගින් ලබා පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ සිටින එංගලන්තය සහ පස්වැනි ස්ථානයේ සිටින ඔස්ට්‍රේලියාව අතර පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය එම කණ්ඩායම් දෙකටම වඩාත් තීරණාත්මක වුවද එයද  වර්ෂාවෙන් සේදී ගියේය.

වර්ෂාව හේතුවෙන් එංගලන්ත පිල අයර්ලන්තය හමුවේ පරාජය වීමත්, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සහ ඇෆ්ගන්- අයර්ලන්ත තරගය විසඳුමකින් තොරව අවසන් වීමත් පළමු කාණ්ඩය උණුසුම් වීමට ප්‍රධාන සාධකය විය. 
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළත්ව සිටින දෙවැනි කාණ්ඩයේ පසුගිය සතිය අවසන් වනවිට එතරම් උණුසුමක් නොතිබුණි.

I යොහාන් භාසුර