2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ලංකාව සූදානම්!

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 90

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) සංවිධානය කරන 8 වැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, නැමීබියාවට එරෙහිව පළමු සුදුසුකම් ලැබීමේ තරගයට  ඕ‍ස්ට්‍රේලියාවේ ගීලෝන්හිදී අද (16) සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම පසුගිය කාලය පුරාම අයි.සී.සී. විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ අඩියේ රැඳී සිටීම නිසා මෙවරද සුදුසුකම් ලබා තරගාවලියට සහභාගි වීමට සිදුව තිබේ. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ කඩඉම පහසුවෙන් පැනගත්තේය.

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රතිවාදීන් වන නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් ප‍්‍රබලයන් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

දකුණු අප‍්‍රිකාවෙන් 2007 වසරේ ආරම්භ වූ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ගත වූ තරගාවලි හතේදී ශ්‍රී ලංකාව 2009, 2012 සහ 2014 යන තරගාවලි තුනේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබමින් අවසන් මහ තරග වැඩිම සංඛ්‍යාවකට සහභාගි වූ රට බවට පත්ව සිටින අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 2014 වසරේ බංග්ලාදේශයේදී ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කරමින් විස්සයි20 ලෝක ශූරයන් බවට පත්වූහ.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවසුවේ කිසිදු කණ්ඩායමක් පහසු යැයි නොසලකන බවත් තරගයෙන් තරගයට ඉදිරියට යෑමට සැලසුම් කර ඇති බවත්ය. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පුහුණු තරගයේදී සිම්බාබ්වේ ලකුණු 33 කින් පරාජය කරමින් සුදුසුකම් ලැබීමේ තරගාවලියට හොඳ ආරම්භයක් පසුගිය අඟහරුවාදා ලබාගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ඉතිරි තරග දෙකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව මේ මස 18 වැනිදාද, නෙදර්ලන්තයට එරෙහිව මේ මස 20 වැනිදාද, සහභාගි වීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරග කරයි. එම තරගාවලියේ ‘ඒ’ සහ ‘බී’ යන කාණ්ඩවල වැඩි ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක බැගින් ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලැබුවහොත් ප‍්‍රධාන තරගාවලියේ පළමු කාණ්ඩයට සුදුසුකම් ලබන අතර එම කාණ්ඩයට මේ වනවිටත් එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වුවහොත් ප‍්‍රධාන තරගාවලියේ දෙවැනි කාණ්ඩයට ඇතුළත් වන අතර එම කාණ්ඩයේ මේ වනවිටත් ඉන්දියාව, පාකිස්තාන, දකුණු අප‍්‍රිකාව සහ බංග්ලාදේශය රැඳී සිටියි.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙවැනි කාණ්ඩයටද, දෙවැනි ස්ථානය ලබන කණ්ඩායම පළමු කාණ්ඩයටද, ඇතුළත් වෙයි. 

ආසියානු විස්සයි20 ශූරයන් ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තරගාවලියේ දිගු ගමනක් යෑමට හොඳ සූදානමින් සිටියි.  ප‍්‍රධාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සිඩ්නිහිදී මේ මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.  

I සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00