2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ආසියානු ක්‍රිකට් කිරුළේ අවසන් හෝරාව

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 251

ආසියානු ක්‍රිකට් කිරුළේ වර්තමාන හිමිකරු මෙන්ම ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ බලවතා ලෙස සැලකෙන ඉන්දියාව පරාජය කරමින් තරුණ ක්‍රීඩකයන් පිරිවරා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රිකට් ශූරතාවලියේ (2022) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පසුගිය අඟහරුවාදා සමත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි. මෙවර ආසියානු ක්‍රිකට් ශූරයන් තේරීමේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉරිදා (11) රාත්‍රී පැවැත්වීමට නියමිත විය.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමත් සමඟ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පිල අවතක්සේරුවට ලක්කළද පළමු වටයේ දෙවැනි තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ඔවුන් ආරම්භ කළ ජයග්‍රාහී ගමන මෙම සටහන තබන මොහොත වනවිට ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව පරාජය කිරීම දක්වා විහිදීම කැපී පෙනේ.

පාකිස්තානු පිල පසුගිය බදාදා පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමත් සමඟ දෙවැනි වටයේ තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි වටයේ අවසන් තරගය පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලිය පුරාම මේ දක්වා ලැබූ ජයග්‍රහණවලට තරුණ ජවය ප්‍රධාන සාධකය බවට පත් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම තරගාවලිය දෙවැනි වටයේ මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ලකුණු රුස් කිරීම සහ පන්දු යැවීමට අමතරව පන්දු රුකීම වඩාත් සුවිශේෂී ස්ථානයක පැවතුණි. නායක දසුන් ශානක, පතුම් නිස්සංක, චාමික කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ප්‍රමුඛ සියලුම ක්‍රීඩකයෝ ලකුණු දෙකක් එක ලකුණක් බවට පත්කිරීම සහ එක ලකුණ කපාහැරීමෙන් මෙම සාර්ථකත්වයට ළඟා වූහ.

ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය ලැබූ පළමු තරගයේදී  සිදුවූ දුර්වලතා වඩාත් ඉක්මනින් හඳුනාගෙන ක්ෂණිකව සකස් කරගැනීමට හැකිවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ රහස බවට පත්ව තිබේ. විස්සයි20 ක්‍රිකට් යනු පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් යැයි හඳුනාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි වටයේ පළමු තරග දෙකේදීම පිතිකරණය මූලිකත්වය කරගනිමින් ජයග්‍රහණය කරා ගියහ. 

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සාර්ථක ආරම්භයක් ලබාදීම දකුණු 170 කට හඹායාමට මග පෑදුවේය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 39 කින් ලකුණු 62ක සම්බන්ධතාවයක් පැවැත්වූ පැතුම් සහ කුසල් තවදුරටත් ඉන්දියාවට එරෙහිව සැලසුම් සහගතව සම්බන්ධතාවයක් ගොඩනැගූහ. පැතුම් (52) සහ කුසල් (57) එම ඉනිමේදී හතරේ හයේ පහර සමඟ නිරන්තරයෙන් එක ලකුණ බැගින් රුස්කරමින් ඉන්දීය පන්දු යවන්නන් සහ පන්දු රකින්නන්ට තරගයට අවතීර්ණ වීමේ අවස්ථාව අහිමි කළහ.

භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක යන පිතිකරුවන් අවශ්‍ය මොහොතේ සාර්ථක වීම අවසන් මහා තරගය දක්වා පැමිණීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. දසුන් (නොදැවී 33) සහ භානුක (නොදැවී 25) ඉන්දීය පිලට එරෙහිව පස්වැනි කඩුල්ලට පන්දු 35 කින් රැස්කළ ලකුණු 64 නොවන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.

වසරකට අන්තර්ජාතික මට්ටමේ විස්සයි20 තරග 50 කට ආසන්න සංඛ්‍යාවකට සහභාගී වෙන ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම ලකුණු 173 කට සීමා කිරීමද මෙහිදී අමතක කළ නොහැක. එහිදී ඩිල්ෂාන් මධුසංඛගේ සහ මහේෂ් තීක්ෂණගේ පන්දු යැවීම වඩා කැපී පෙනුණි. ඩිල්ෂාන් මධුසංඛ සිය ක්‍රිකට් දිවියට අමතක නොවන සටහනක් තබමින් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. තීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු 6 කට පිටියෙන් ඉවත් කළේය.

ඉන්දීය පිල ලකුණු 173 කට සීමා කිරීමේ ගමනේදී පැතුම් නිස්සංක හතරේ සීමාව  අසල සිට රැකගත් උඩ පන්දු 3 විශාල සහයෝගයක් ලබා දුන්නේය. ඉන්දීය ඉනිම පුරාම ශ්‍රී ලංකාව පන්දුවාර දෙකක ප්‍රමාදයක් පෙන්නුම් කළ අතර එය සකස් කරගැනීම සඳහා දසුන් ශානක හැකි ඉක්මනින් කටයුතු කළ යුතුය. ඒ සඳහා දසුන් ඉන්දීය පිල ආදර්ශයට ගනිමින් ඊළඟ පන්දුවාරය යැවීමට නියමිත පන්දු යවන්නා ක්‍රියාත්මක වන පන්දුවාර අවසන් වීමට පෙර තණතීරුව ආසන්නයට කැඳවීමට කටයුතු කිරීම අවශ්‍යය.

පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර පසුගිය බදාදා සාජාහිදී පැවති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයේ දේපලවලට හානි සිදුකර පාකිස්තානු ප්‍රේක්ෂකයන්ට පහරදීම අනුමත කළ නොහැකි සිද්ධියකි. පාකිස්තාන පිතිකරු අසිෆ් අලී සහ ඇෆ්ගනිස්තාන් පන්දු යවන්නා වූ ෆරිඩ් අහ්මඩ් අතර මෙම තරගයේදී ඇතිවූ අශෝභන සිද්ධිය පිළිබඳවද මේ වනවිට ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක්ව තිබේ.

 යොහාන් භාසුර, ඩුබායි සිට.....