2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ශ්‍රී ලංකා පිලේ සුපිරි බව පෙන්වූ තරගයක්

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 179

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී පසුගිය බ්‍රහස්පතින්දා පැවති තීරණාත්මක තරගයේදී දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල කඩුලු 2 කින් බංග්ලාදේශය පරාජය කරමින් ‘සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සතුව එම තරගයේදී වාසනාව උපරිමයෙන් තිබූ ආකාරය දැකගත හැකි වූ අතර ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් ලබා සිටියදී උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක රහීම් රුකගත්තද එම පන්දුව නිපන්දුවක් බවට පත් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 37 කදී හතරේ පහර 4 ක් සහ හයේ පාර 3 ක් සමගින් ලකුණු 60 ක් රුස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව ‘සුපිරි 4’ දෙනාගේ වටයේ සහභාගි වන පළමු තරගය ඇෆ්ඝනිස්තානයට එරෙහිව සාජාහිදී ඊයේ (3) පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ ලැබූ පරාජයත් සමඟ ඇතිවූ අවිනිශ්චිත තත්ත්වයෙන් ගැලවී නැවතත් තරගාවලියට පිවිසීමේ අවස්ථාව පසුගිය බ්‍රහස්පතින්දා (1) උදා විය.

ඇෆ්ඝනිස්තානය පසුගිය අඟහරුවාදා පැවැති තරගයේදී කඩුලු 7කින් බංග්ලාදේශය පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට එම අවස්ථා උදා විය. ඇෆ්ඝනිස්තානය හමුවේ ඒ වනවිට පරාජයට පත්ව සිටී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවති බී කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගයෙන් ජය ලබන කණ්ඩායමට ‘සුපිරි 4’ දෙනාගේ වටයට පැමිණීමේ අවස්ථාව උදා විය.

ඇෆ්ඝනිස්තානය සහභාගි වූ තරග දෙකම ජය ලබා ඒ වන විටත් ‘බී’ කාණ්ඩයෙන් ‘සුපිරි 4’ දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ජය ලැබූ ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ දෙවැනියා ලෙස ‘සුපිරි 4’ වටයට පැමිණියේය.

ශ්‍රී ලංකාව කාලයක සිට පුරුද්දක් ලෙස ලෝක කුසලාන සහ ආසියානු කුසලාන වැනි ප්‍රධාන තරගාවලිවලදී කරන අත්හදා බැලීමේ මෝස්තරය මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ක්‍රියාත්මක කරමින් සිටියි. 

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල ඇෆ්ඝනිස්තානය හමුවේ ලැබූ අනපේක්ෂිත මෙන්ම දැවැන්ත පරාජයට හේතුව බවට පත්වූයේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව එම තරගයේදී සංචිතයේ සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට නොගැනීම බව අමුතුවෙන් කිවයුතු නැත. 

එහිදී තේරීම් කමිටුව ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු බංකුවේ තබා අත්දැකීම් අඩු වේග පන්දු යවන්නන් දෙදෙනකු වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන තිබුණි.

එම තරගයේ පරාජයට එකම සහ ප්‍රධාන හේතුව පැතුම් නිශ්ශංකගේ විවාදාත්මක දැවී යාම නොවන බව අමතක නොකළ යුතු අතර ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් පීඩනය තුළ ඉනිමක් ගොඩනැගීමට අපොහොසත් වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු දැවී යාමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ සිව්වැනි කඩුල්ලට ලකුණු 44 ක සම්බන්ධතාවයක් පැවැත්වුවද අත්දැකීම් බහුල පිතිකරු වන ධනුෂ්ක ගුණතිලක කඩුල්ල විසිකිරීම ශ්‍රී ලංකා පිල ලකුණු 105 කට සීමාවීමට ප්‍රධාන හේතුව බවට පත් විය.

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක තරගය අවසන් වීමෙන් පසුව පැවසුවේ පිතිකරුවන් ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නත් හඳුනාගෙන සූදානම්ව සිටියේ ද යන්න ඔහුට ද ප්‍රශ්නයක් මතු කර ඇති බවයි.

පීඩනය මධ්‍යයේ ඉනිමක් ගොඩනගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ගෙන් ඉගෙනගත හැකිය. ඇෆ්ඝනිස්තාන පිතිකරුවන් පසුගිය අඟහරුවාදා බංග්ලාදේශය පරාජය කළ තරගයේදී ඉනිම ගොඩනැගූ ආකාරය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ආදර්ශයකි.

ශ්‍රී ලංකා පිල සතුව ඇති දක්ෂතා නිසි පරිදි කළමනාකරණය කළහොත් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිගු ගමනක් යාමේ අවස්ථාව තිබෙන අතර ක්‍රිකට් තේරීම් කමිටුව ද ඒ සඳහා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුව තිබේ.

යොහාන් භාසුර 
ඩුබායි සිට..