2022 ජුලි 10 වන ඉරිදා

ලංකාවෙ කවුරුවත් මට උදව් කළේ නැහැ - ධාවන ශූර යුපුන්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 220

''ඔයාලට දෙයක් කියන්න ඕනෑ. මේක අයිති මට සහ මගේ ටීම් එකටයි. ශ‍්‍රී ලංකාවේ කවුරුත් මේකට උදව් කළේ නෑ'' යැයි ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්, ස්විට්සර්ලන්තයේදී පැවැති ‘රෙසිස්ප‍්‍රින්ට්’ ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසය රන් අකුරින් සරසමින් මීටර් 100 ඉසව්ව තත්ත්පර 9.96 කින් නිමකිරීමෙන් පසුව පසුගිය ඉරිදා පැවසීය.  

එවැනි ඉතිහාසගත ජයග‍්‍රහණයක් ලැබීමෙන් පසුව ක‍්‍රීඩකයෙක් එම ජයග‍්‍රහණය තම රටට අයිති නැති බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම ඉතාමත් බරපතළ තත්වයකි.

එම සුවිශේෂි ජයග‍්‍රහණය ලැබූ අවස්ථාවේදී යුපුන් වැඩිදුරටත් මෙසේද පැවසීය. 

''මම ඒක කරා, කිව්වා වගේම, ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරන්න. දකුණු අසියාවෙත්. තැන්කිව්යූ මාත් එක්ක හිටියට. මම කිව්වා මේක කරනවා කියලා. මම ට‍්‍රයි කරා ගොඩක් පාරක්. නමුත් මට අද චාන්ස් එක ආවා. ගොඩක් ස්තූතියි. මම ඒක කියනවා. නමුත් මේ ටයිමින් එක බෝඩ් එකට වැටෙනකන් මාත් සමඟ හිටපු සහ මට සුබපැතුව හැම කෙනාටම ප‍්‍රදානය කරනවා. බොහෝම ස්තූතියි... ආදරෙයි...''

යුපුන් එවැනි ප‍්‍රකාශයක් කළේ ඇයිදැයි සොයා බැලීමට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා වහාම කටයුතු කළ අතර ඒ අනුව විජේකෝන් මහතාට යුපුන් පසුගිය සතියේ දුරකථනයෙන් කරුණු පැහැදිලි කර තිබේ. ඒ අනුව යුපුන්ගේ ඉතිහාසගත ජයග‍්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු ඇගයීමක් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය සූදානම් වෙමින් සිටියේය. 

ඉතාලියේ පුහුණුවීම් කරන යුපුන්ගේ මාසික වියදම ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් ලක්‍ෂ 5ත් 7ත් අතර වන බව දැනගන්නට ඇති අතර ඔහුට ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන් ගෙවන සොච්චම් මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලිය. ප‍්‍රමාණවත් මුදලක් ලබාදෙන ලෙස සුපුන් විද්‍යුත් තැපෑල ඔස්සේ අවස්ථා රුසකදී ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වීම ඔහුගේ එම ප‍්‍රකාශයට ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇතැයි දැනගන්නට තිබේ. 

යුපුන් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ‘සුපිරි සංචිතය’ නියෝජනය කරන නිසා ඔහුටද මාසිකව රුපියල් ලක්‍ෂයක් පමණක් ගෙවන අතර මෙම වසරේ මේ දක්වා ඔහුට ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙකේ ලක්‍ෂ දෙක පමණක් අප්‍රේල් මස ලැබී ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම නිසා අප්‍රේල් මස ලැබුණු ලක්‍ෂ දෙකේ වටිනාකම යූරෝවලින් අඩක් බවට පත්ව තිබේ.

ලෝක ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා යූරෝ 5000ක වියදම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබුණද එයට ප‍්‍රතිචාරයක් දක්වා නොමැති අතර එම තරගාවලියේදී ඉතාලි ජාතික පුහුණුකරු සහ අභ්‍යාසකවරයා ඔහුගේ වියදමින් සහභාගි කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වසරකදී ගෙවන වැටුප ඔහුට මාසික වියදමට ප‍්‍රමාණවත් නොවන බවත් ශ්‍රී ලංකාවෙන් කරන කිසිදු ගෙවීමක් ඩොලර්වලින් නොකරන බවත් වාර්තා වේ. ඔහුට ප‍්‍රමාණවත් පහසුකම් නොලැබුණද ජයග‍්‍රහණ ලැබූ සෑම අවස්ථාවකදීම ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රධානීන් ඇතුළු බොහෝ දෙනකුගේ නම් ප‍්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ලැබුණු ඇමතුම් අනුව නම් ප‍්‍රකාශ නොකිරීමද යුපුන්ට ලැබෙන මෙම කුඩම්මාගේ සැලකිල්ලට හේතුවක් බවද වාර්තා වේ. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලබාදෙන ශිෂ්‍යත්ව පහෙන් 2020 වසරේද යුපුන්ට අවස්ථාවක් ලබානොදුන් ජාතික ඔලිම්පික් කමිටුව 2024 ඔලිම්පික් ශිෂ්‍යත්වයෙන්ද ඔහුට අවස්ථාවක් නොදුන්නේය. මෙම ශිෂ්‍යත්වයෙන් ක‍්‍රීඩකයකුට ඩොලර්වලින් මාසික මුදලක් ප‍්‍රදානය කරන අතර ජාතික ඔලිම්පික් කමිටුව ජයග‍්‍රහණ පෙනෙන තෙක් මානයක නැති ක‍්‍රීඩාවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එම ශිෂ්‍යත්ව ලබාදීම කාලයක් සිට කරගෙන ගියේය. ඇතැම් ක‍්‍රීඩකයන් 2012 වසරේ සිට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දීමනාව ලැබුවද ඔවුන් දස්කම් දක්වා නැත. 

මෙම චෝදනා සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ යුපුන්ගේ ගෙවීම් පිළිබඳව කථා කිරීමට මෙය අවස්ථාවක් නොවන බවත් ක‍්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ඔහු වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත්ය. 

පන්නල ජාතික පාසලේ සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන 27 හැවිරිදි යුපුන් 2016 වසරේ පුහුණුවීම් සඳහා ඉතාලිය බලා පිටත්ව යෑමෙන් පසුව යුද හමුදාවෙන් ලැබිය යුතු දීමනා රුසක්ද කපා හැර ඇති බව වාර්තා වේ. වර්තමාන මලල ක‍්‍රීඩා පරිපාලනයේ සිටින හිටපු යුද හමුදා ප‍්‍රධානියෙක් සමඟ ඇති විරසකයක් හේතුවෙන් වර්තමාන යුද හමුදා නිලධාරියෙක් යුපුන්ගේ දීමනා කපා දැමූ බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ. 

යුපුන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වගකීම් පැහැර හැර ඇති බව ඉතාම පැහැදිලිය. ඒ හේතුවෙන් දැන්වත් ඔහු වෙනුවෙන් ප‍්‍රමාණවත් පහසුකම් සැපයීම වර්තමාන ක‍්‍රීඩා බලධාරීන්ගේ යුතුකමය.

 සටහන: යොහාන් භාසුර