2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ලංකාවේ ක්‍රිකට් පිටියේ ස්පිිිිිිරිට් එක නැංවූ එල්.පී.එල්

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 222

ලංකා ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ‘දැඩි නියඟයකින් පසුව ඇද හැලුණු වර්ෂාවක්’ වැනි වඩාත් ප‍්‍රයෝජනවත් තරගාවලියක් බවට පත්ව තිබේ. ‘කොවිඩි 19’ අවදානම හේතුවෙන් ක‍්‍රීඩාවෙන් ඈත්ව සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මේ වනවිට එල්.පී.එල්. තරගාවලිය හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ. මෙම තරගාවලියට අත්දැකීම් සපිරි විදේශ ක‍්‍රීඩකයන් සහභාගි වීමෙන් ශ‍්‍රී ලංකා තරුණ ක‍්‍රීඩකයන්ට වඩාත් ප‍්‍රයෝජනවත් අවස්ථාවක් වී තිබේ.

ලොව වටා විස්සයි20 ලීග් තරගාවලිවලට සහභාගි වන කොදෙව් තුන් ඉරියව් ක‍්‍රීඩක ඔන්ඩි්‍ර රසල්, දකුණු අප‍්‍රිකානු සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ඩේල් ස්ටෙයින්, පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂොයිබ් මලික් සහ කොදෙව් පිතිකරැ ජොන්සන් චාල්ස් සහභාගි වී සිටීම එල්.පී.එල්. තරගාවලියට විශාල වටිනාමක් එකතු කරයි. ග්ලෝරි එවන්ස්, අසාම් ඛාන් ඇතුළු විදේශ ක‍්‍රීඩකයන්ද දස්කම් දැක්වමින් සිටීම තරගාවලියට නව ආලෝකයක් එක්කර තිබේ. 

කොළඹ කිංග්ස් පිල නියෝජනය කරන එංගලන්ත ක‍්‍රීඩක ග්ලෝරි එවන්ස් පසුගිය බ‍්‍රහස්පතින්දා ලකුණු 108 ක් රැස්කරමින් තරගාවලියට අඩු පාඩුවක්ව තිබූ පළමු ශතකය ද වාර්තා කළේය. ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ පසුගිය දශකයේ ප‍්‍රබල ක‍්‍රීඩකයන්ව සිටි මේ වනවිට 22 වැනි වියේ පසුවන ධනංජය ලක්‍ෂාන් සහ 24 වැනි වියේ පසුවන සහන් ආරච්චිගේ පන්දු යවන්නන් ලෙස පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී ගාල්ල පිල අවසන් පූර්ව තරගයට රැගෙන ආහ.

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග ක‍්‍රීඩාවට සමුදීමට ආසන්නව තිබියදී මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට වඩාත් සමාන පන්දු යවන්නකු වන නුවන් තුෂාර පසුගිය බ‍්‍රහස්පතින්දා කැපී පෙනුණි. 
උතුරු පළාත නියෝජනය කරමින් යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කරන 19 හැවිරිදි දඟ පන්දු යවන කීඩක වියජකාන්ත් වියස්කාන්ත් මේ වනවිට තරග තුනකට කීඩා කර තිබේ. කිලිනොච්චියේ පදිංචිකරුවකු වන වියස්කාන්ත්ගේ ජීවිත කථාව ජනමාධ්‍ය ඔස්සේ පචාරය වීමත් සමඟ ඔහු තරගාවලියේ අවධානය දිනාගත් කීඩකයා බවට පත්ව සිටියි. 

 

පළමු වටයේ තරගයක් පමණක් ඉතිරිව තිබියදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් රැසක් ලකුණු අතර සිටීම වඩාත් කැපී පෙනේ. ගාල්ල පිල නියෝජනය කරන ධනුෂ්ක ගුණතිලක තරග අටේදී අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 462 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. මහනුවර පිලේ කුසල් මෙන්ඩිස් (263) සහ දඹුල්ල පිලේ නායක දසුන් ශානක (245) බ‍්‍රහස්පතින්දා තරග අවසන් වනවිට පිළිවෙළින් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවූහ. 
යොවුන් පා දඟපන්දු යවන කීඩක වනිඳු හසරංග කඩුලු 13ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින අතර මොහොමඩ් අමීර් කඩුලු 10ක් දවාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. 

ශ‍්‍රී ලංකා පිල නියෝජනය කරමින් සිටියදී ආබාධයකට ලක්ව වසරකට වැඩි කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි අසේල ගුණරත්න තුන් ඉරියව් දස්කම් දැක්වීම වඩාත් වැදගත් වී තිබේ. ශ‍්‍රී ලංකා විස්සයි20 සහ එක්දින කණ්ඩායම්වල සමබරතාව රැකගැනීම සඳහා යොදාගත හැකි තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන අසේල නැවත දස්කම් අතරට පැමිණීම අනාගත ආයෝජනයකි. මහනුවර පිල තරගාවලියෙන් ඉවත් වන විට අසේල තරග අටකදී ලකුණු 168 ක් රැස්කරමින් කඩුලු නවයක් දවාගැනීමට සමත්ව සිටියේය. 
යාපනය පිල නියෝජනය කරන ශී ලංකා වයස 19 න් පහළ පිලේ හිටපු නායකයකු වන 23 හැවිරිදි චරිත් අසලංක තරග දෙකකට සහභාගි විය. ශී ලංකා පිලේ හිටපු නායක සහ කොළඹ කිංග්ස් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරග හතකට සහභාගි වුවද මේ දක්වා සාර්ථක වීමට අපොහොසත් වීම දැඩි අවාසනාවකි. මැතිව්ස් තරග හතේදී ලකුණු 63 ක් පමණක් රැස්කර තිබේ.  

තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය සිකුරාදා අවසන් වීමට නියමිතව තිබූ අතර බ‍්‍රහස්පතින්දා තරග අවසන් වන විට අවසන් පූර්ව යටයට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර තීරණය වී තිබුණි. දඹුල්ල වයිකිංස්, කොළඹ කිංග්ස්, යාපනය ස්ටැලියන්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. දඹුල්ල වයිකිංස් පිල සහ කොළඹ කිංග්ස් පිල අතර සිකුරාදා රාත‍්‍රී පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ ප‍්‍රතිඵලය අනුව ප‍්‍රසාද ලකුණු පුවරැවේ ස්ථාන තීරණය වන අතර ඒ අනුව අවසන් පූර්ව තරගවලදී ක‍්‍රීඩා කරන ආකාරය කිව හැකිය.  

තරගාවලිය ආරම්භයේදී අසාර්ථක කණ්ඩායම බවට පත්ව සිටි ගාල්ල පිල පසුගිය බහස්පතින්දා මහනුවර පිල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම විශේෂ සිද්ධියකි. ගාල්ල පිල සහභාගි වූ පළමු තරග පහ පරාජයට පත්වූ අතර ගාල්ල පිලේ නිත නායක සහිඩ් අෆ්රිඩි තරග තුනක් පරාජය වීමෙන් පසුව නැවත පාකිස්තානය බලා පිටත්ව යෑම එම කණ්ඩායමට දැඩි හිඩසක් බවට පත්විය. 

අවසන් පූර්ව තරග දෙක අද (13 වැනිදා) සහ හෙට (14 වැනිදා) පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගය ලබන බදාදා (16 වැනිදා) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් ජාතික කණ්ඩායම මෙම තරගාවලිය අවසන්වීමත් සමඟ දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට සූදානමින් සිටීම නිසා ‘සුදු පන්දුව’ සහ ‘රතු පන්දුව’ අතර වෙනස පිළිබඳව ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ අදහස් දක්වති.

මෙම එල්පී.එල්. තරගාවලියේදී සුදු පැහැති පන්දුවෙන් ක‍්‍රීඩා කර මෙන්ම පුහුණුවීම් ද කර ටෙස්ට් තරගවලදී රතු පැහැති පන්දුවට හුරුවීමට කාලයක් ගතවනු ඇතැයි ද එය දකුණු අප‍්‍රිකානු සංචාරයේදී අවාසියක් වනු ඇතැයි ද ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පෙන්වා දෙති.  

 සටහන: යොහාන් භාසුර