2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනා ඔලිම්පික් නවත්වයි:

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 310

සමස්ත ලෝකයම දිනෙන් දින බිලිගනිමින් සිටින ‘කොරෝනා’ වෛරසයට ජයග‍්‍රහණය ලබාදෙමින් සිව්වසරකට වරක් පැවැත්වෙන ලෝක ක‍්‍රීඩා මංගල්‍යයේ XXXII වැනි අදියර වන ‘ටෝකියෝ 2020’ ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට සත්කාරක ජපානය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය අඟහරැවාදා තීරණය කළේය. වසර 125ක ඉතිහාසයකට හිමිකම් කියන ඔලිම්පික් ඉතිහාසයේ මෙවැනි ලෝක වෛරස් අවදානමක් හේතුවෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල්දැමූ පළමු අවස්ථාව මෙය වීමද කැපී පෙනේ.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉතිහාසයේ 1916, 1940 සහ 1944 යන තරගාවලි ලෝක යුද්ධයන් හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මෙවර ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ජපානය පසුගිය දෙසැම්බර් මස වනවිට ජපන් යෙන් ටි‍්‍රලියන 1.35ක් හෙවත් ඩොලර් බිලියන 12.35ක් වූ අති දැවැන්ත මුදලක් වැයකර තිබුණි. ජපන් රජය වියදම් කර ඇති මුදලට අමතරව අනුග‍්‍රහකයන්, රක්‍ෂණ ආයතන සහ විකාශන ආයතන වැයකර ඇති මුදලද ඩෝලර් මිලියන ගණනක් බව විචාරකයෝ පෙන්වා දෙති. 

ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් මේ වනවිට වියදම් වී ඇති සත්‍ය මුදල ඩොලර් බිලියන 25 ක් විය හැකි බව මූල්‍ය විශේෂඥයෝ ඉඟි පළකරති. විශාල පරිමාණයේ හෝටල්, ක‍්‍රීඩාංගණ, ප‍්‍රවාහන ජාල සහ සෙසු යටතල පහසුකම් සඳහා මෙම මුදලින් විශාල මුදලක් වැයකර ඇති බව පැවසේ. සත්කාරක ජපානයේ අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පසුගිය අඟහරුවාදා පස්වරුව තෙක් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල්දැමීමට අකමැත්තෙන් පසුවුවද ලෝක ක‍්‍රීඩා පිටියේ ප‍්‍රබලයන් වන ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදි රටවල් රැසක් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල්දමන ලෙස කළ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවිය.

ජපානයේ ඔලිම්පික් ක‍්‍රීඩා අමාත්‍ය සයිකෝ හෂිමොටෝ පසුගිය සතියේ පවසා තිබුණේ පූර්ණ සත්කාරත්වය ලබාදෙමින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියමිත පරිදි පවත්වන බවයි. මෙම විශේෂ සාකච්ඡාව ආරම්භ වීමට පැය කීපයකට පෙරද ක‍්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්වීම ජපාන් අගමැති ෂින්සෝ අබේ මහතා අදහස් කර තිබූ බව විදේස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ජපානයේ අගමැති ෂින්සෝ අබේ සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බේච් යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල්දැමීමට තීරණය විය.

‘ටෝකියෝ 2020’ ඔලිම්පික් උළෙල ජපානයේදී ලබන ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. එය ලබන වසරට කල්දැමුවද ‘ටෝකියෝ 2020’ ලෙසම හැඳින්වීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. ජපානය මෙම තීරණයට එළඹෙන විටත් ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි නොවන බව නිලවශයෙන් දැනුම්දී තිබුණි. ඇමරිකාව, ජර්මනිය සහ පෝලන්තයද ඒ වනවිට ක‍්‍රීඩා උළෙල අවලංගු කරන ලෙස දැඩි බලපෑම් කරමින් සිටියේය.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ජවන හා පිටිය ඉසව්වල සහ පිහිනුම් ඉසව්වල ආධිපත්‍ය රඳවාගෙන සිටින ඇමරිකානු මලල ක‍්‍රීඩා සංගමය සහ පිහිනුම් සංගමය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල අවලංගු කරන ලෙස හෝ කල්දමන ලෙස කළ ඉල්ලීම මෙහිදී වඩාත් බලපෑම් කර තිබේ.

ලෝක බලවතා මෙන්ම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගන්නා රටක් වන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාද ඔලිම්පික්  ක්‍රිඩා උළෙල කල්දැමිය යුතු බවට ඉල්ලීමක් කර තිබුණි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඉන් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ජපානය ක‍්‍රීඩා උළෙල අවලංගු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ක‍්‍රීඩා උළෙල නියමිත දින වන ජූලි මස 24 වැනිදා ආරම්භ කිරීමට නොහැකි බව ඔවුන් දන්නා බවත්ය. 

“ලොව පුරා මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය පහව ගියද අති විශාල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාවකට පුහුණු පහසුකම් සැලසීම සහ තහනම් උත්තේජන පරීක්‍ෂණ පැවැත්වීමට පහසුකම් සැලසීම වැනි කටයුතු කිරීම ඉතාමත් අපහසු කාර්යයක්” යැයි ඇමරිකානු එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම්දී තිබුණි. 

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ඉතාලිය මෙම සටහන තබන මොහොත වනවිට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි. ඇමරිකාව ද ඉතාමත් භයානක තත්ත්වයකට ළඟා වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබුණි. මෙම කල්දැමීමෙන් පසුව බොහෝ රටවල්වල ක‍්‍රීඩා අමාත්‍යවරුන් ඇතුළු ක‍්‍රීඩා බලධාරීන් සිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පවසා තිබුණේ ලබන වසරේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සූදානම් වන ලෙසය.

දකුණු ආසියාවේ මලල ක‍්‍රීඩා බලවතා වන ඉන්දීය ක‍්‍රීඩා අමාත්‍ය කිරන් රිජේජු පවසා තිබුණේ ගෝලීය වසංගතය සැළකිල්ලට ගනිමින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල්දැමීම අගය කරන බවයි. “ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ යහපත් සෞඛ්‍ය සඳහා මෙම තීරණය ඉතාමත් හොඳ දෙයක්. මම අපේ ක‍්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වික්ෂිප්තිව නොසිට 2021 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ඉන්දියාවට වැඩි පදක්කම් සංඛ්‍යාවක් ලබාගැනීම සඳහා හොඳ මානසික තත්ත්වයක් නිර්මාණය කරගන්නා ලෙසයි” යැයි ඉන්දීය ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි. 

මෙම සටහන තබන මොහොත වන විට ජපානය ‘කොරෝනා’ වයිරසය පැතිරීම පාලනය කිරීමට සමත්ව සිටියද එරට වැසියන් 1200 කට ආසන්න සංඛ්‍යාවකට රෝගය ආසාදනය වී තිබිණි. 50 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබුණි. මෙම සටහන තබන මොහොත වනවිට රටවල් 194 ක ‘කොරෝනා’ වෛරසය පැතිර තිබූ අතර ආසාදිතයන් සංඛ්‍යාව 423,000 ඉක්වමා තිබුණි. වෛරසයෙන් ‘මියගිය සංඛ්‍යාව 19,000ට ආසන්නව තිබුණි.

දින 15ක් පැවැත්වීමට නියමිත ‘ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට රටවල් 206 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් 11,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. මෙම පිරිසට අමතරව නිලධාරීන්, සේවකයන් සහ ප්‍රේකයන් සමගින් අවම වශයෙන් 50,000 කට අධික පිරිසක් ටොකියෝ නුවරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙති. මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවද දෙකොණ පත්තු වූ විලක්කුවක තත්ත්වයට පත්ව තිබූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අනාගතය පිළිබඳව අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන සමඟ සාකච්ඡා කිරීමට පසුගිය සතියේ සූදානමින් සිටියේය. 

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අනාගතය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත රඳවා පවතින බවද ඇතැම් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණද උද්ගතව ඇති තත්ත්වය හමුවේ වෙනත් විකල්පයක් නොවීය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී  ඕස‍්‍්ට්‍රේලියානු ජාතික ජෝන් කෝට්ස් මහතා පසුගිය සතිය වනවිට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ ලූසෑන් නුවර රුඳී සිටි අතර ඒ මහතාද නැවත මෙල්බර්න් නුවරට පැමිණි පසු දින 14 ක ස්වයං නිරෝධායනට ලක්වීම අනිවාර්ය වී තිබුණි.

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කිසිදු ක‍්‍රීඩකයෙක් හෝ ක‍්‍රීඩිකාවක් සුදුසුකම් ලබා නොමැති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල් දැමීමේ බලපෑමක් නැත.

විදේශ මාධ්‍ය ඇසුරින්
 යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00