2020 මාර්තු 07 වන සෙනසුරාදා

වාර්තා තබා ක්‍රිකට් පිටියෙන් සමුගත් ශෂිකලා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

පුරා වසර 17 ක් ශ්‍රී ලංකා කාන්තා පිටිය වර්ණවත් කළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන, ඕස් ට්‍රේ‍ලියාවේදී පසුගිදා අවසන් වූ කාන්තා විස්සයි20 තරගාවලියෙන් පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත්තාය. 

තුන් ඉරියව් ක‍්‍රීඩිකාවක් වන 34 හැවිරිදි ශෂිකලා ලෝක කුසලාන තරගාවලියේදී ද පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීම කැපී පෙනුණි. එහිදී ශ්‍රී ලංකාව ජය ලැබූ එකම තරගය වූ  බංග්ලාදේශයට එරෙහිව තරගයේදී ශෂිකලා දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. 

ශෂිකලා අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට සමුදෙන විට එක්දින ජාත්‍යන්තර තරග 118 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 81 කට සහභාගි වී තිබේ. 2003 වසරේ එක්දින ජාත්‍යන්තර වරම් ලැබූ ශෂිකලා වැඩිම කාලයක් ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ක‍්‍රීඩිකාවද වන්නීය. 

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ශෂිකලා එක්දින ලකුණු 2029ක් ද,  විස්සයි20 ලකුණු 1097ක් ද, රැස්කර තිබේ. පිට දඟපන්දු යවන ඇය එක්දින කඩුලු 124 ක් ද, විස්සයි20 කඩුලු 77ක් ද, දවාගැනීමට සමත්ව සිටින්නීය. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ එක්දින ලකුණු 1000ක් සහ කඩුලු 100ක් දවාගත් පළමු සහ එකම ක‍්‍රීඩිකාවද වන ඇය ආසියානු කාන්තා ක‍්‍රිකට් පිලද නියෝජනය කර තිබේ. 

ශෂිකලා ‘අපට පැවසුවේ අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව දේශීය තරගාවලිවලටද සහභාගි නොවන බවයි.

“අන්තර්ජාතික තරගවලින් ඉවත්වීමෙන් පසුව මට විවේකයක් ලැබෙනවා. ඉන්පසුව නාවික හමුදාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධව රාජකාරි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

 භාසුර