2020 මාර්තු 07 වන සෙනසුරාදා

පාසල් රග්බි සංගමයේ බහිරවයෝ

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට රුපියල් මිලියන 65ක් හෙවත් රුපියල් ලක්‍ෂ 650ක අති දැවැන්ත අනුග‍්‍රහයක මුදලක් ලැබීමත් සමඟ එම මුදල් සම්පූර්ණයෙන්ම ක‍්‍රීඩාවට වැය වන්නේ දැයි නියාමනය කිරීම වඩාත් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම අනුග‍්‍රහයේ ප‍්‍රධාන සම්බන්ධීකාරකවරයා වන ශ්‍රී ලංකා රග්බි සංගමය දැවැන්ත මුදල වියදම් කරන ආකාරය පිළිබඳව හොඳ අවධානයකින් සිටිනවාට සැක නැත.

පාසල් රග්බි සංගමයේ නිලධාරීන් හේතුවෙන් මෙම නව අනුග‍්‍රාහක මුදල මිලියන 20කින් අඩු වූ බවටද රග්බි සංගමය පැත්තෙන් චෝදනාවක් තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමය මෙම අනුග‍්‍රහය සඳහා ‘ඩයලොග්’ සමාගමෙන් රුපියල් මිලියන 85ක් ඉල්ලා තිබුණද එය මිලියන 65 දක්වා අඩුවී තිබේ. මෙම රුපියල් කෝටි දෙකක් හෙවත් රුපියල් ලක්‍ෂ 200ක කප්පාදුව පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඇතැම් නිලධාරීන් නොසතුටින් පසු වන බවද දැනගන්නට තිබේ. 

පාසල් රග්බි සංගමයේ මුදල් සම්බන්ධයෙන් එතරම් හොඳ වාර්තාවක් නොමැති අතර එම සංගමයේ මුදල් අවභාවිත කළ බවට එහි මහ සභාවකදීම චෝදනා එල්ල වූ නිලධාරියෙක් මේ වනවිටත් ක‍්‍රියාකාරී තනතුරක කටයුතු කරයි. එවැනි නිලධාරීන් තවදුරටත් ක‍්‍රියාකාරීව සිටින පසුබිමක් තුළ පාසල් රග්බි සංගමයේ මුදල් නියාමනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා රග්බි සංගමය හෝ කටයුතු කළ යුතුය. 

අනුග‍්‍රහය පිරිනැමීම වෙනුවෙන් කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවට පාසල් රග්බි සංගමය පසුගියදා පැමිණි ආකාරය අනුමත කළ නොහැක. එහිදී මාධ්‍යයට ලැබුණේ අනුග‍්‍රහකයන් විසින් මුද්‍රණය කරන ලද පිටුවක මාධ්‍ය නිවේදනයක් පමණි. අවම වශයෙන් පළමු සතියේ තරග කාලසටහන හෝ මාධ්‍යයට ලබාදීමට පාසල් රග්බි සංගමය අපොහොත්සත්ව තිබුණි.  
තරගාවලිය සඳහා මුද්‍රණය කරන අත්පොත මුද්‍රණය කර නොමැති බව මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් හෙළිවිය. මෑතකදී නිලධාරී මණ්ඩලය වෙනස්වීම නිසා අත්පොත සංශෝධනය කළ යුතු බව රග්බි නිලධාරීහු පැවසූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බිවලට සම්බන්ධ නිලධාරියකු පැවසුවේ එදින පෙරවරුවේද අත්පොත නිර්මාණය කිරීමට හැකියාව ඇති පුද්ගලයකු සොයමින් පාසල් රග්බි සංගමයේ නිලධාරීන් නටයුතු කළ බවයි. 

පාසල් රග්බි සංගමයේ නිලධාරීන් පාසල් ගුරුවරුන් බව අප හොඳින් දන්නා කරුණකි. නමුත් එම සංගමයේ කටයුතු කිරීම වෙනුවෙන් ඇතැම් පාසල්වලින් ඉගැන්වීම් කටයුතුවලින් නිදහස් කර තිබේ. පාසල් රග්බි සංගමයේ නිලධාරීන්ට එහි රැස්වීම්වලට සහභාගී වීම සහ විශේෂ රාජකාරී වෙනුවෙන් මුදල් ගෙවීමක්ද ලැබේ. මේ හේතුවෙන් එම නිලධාරීන්ට වගකීමක් පැවරී තිබේ.

  වරකාගොඩ ගමගේ