2020 ජනවාරි 04 වන සෙනසුරාදා

පාපන්දුවේ නොලිහෙන අවුල

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව දැන් වැටී ඇති අගාධයට ඇද දැමීමට වගකිවයුතු යැයි චෝදනා එල්ලවන ප‍්‍රධාන නිලධාරීන් දෙපළක් විවිධ උප්පරවැට්ටි යොදමින් පෞද්ගලික වාසි අත්කර ගනිමින් සිටින බවට පාපන්දු ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. ලෝක පාපන්දු සම්මේලනය කොළඹ විවෘත කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කාර්යාලයේ සේවය සඳහා පාපන්දු ප‍්‍රධානියකු සිය පුත‍්‍රයා අනුයුක්ත කිරීමට සූදානම් වන බවද වාර්තා වී තිබේ. 

ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ ප‍්‍රවීණයන් ඕනෑතරම් සිටියදී පාපන්දු ප‍්‍රධානියා සිය පුත‍්‍රයා යෙදවීමේ රහස බවට පත්ව ඇත්තේ එම තනතුර වෙනුවෙන් විශාල වැටුපක් ගෙවීමය. එම තනතුර සඳහා ලෝක පාපන්දු සම්මේලනය ඩොලර් 3000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 5 කට අධික වැටුපක් ගෙවන බව දැනගන්නට තිබේ. 

පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන තනතුරක් දරන නිලධාරියකුගේ සේවය පිළිබඳ දැවැන්ත ගැටලුවක් නිර්මාණය වී තිබුණත් ඔහුව ඉවත්කිරීමට නොහැකිව පාපන්දු බලධාරීන් ළතවන බව දැනගන්නට තිබේ. අදාළ නිලධාරියාගේ සේවා කොන්ත‍්‍රාත් ගිවිසුම ලබන මාර්තු මස දක්වා පවතින බවත් ඊට පෙර සේවයෙන් ඉවත් කළහොත් පාපන්දු සංගමයේ ඉහළ නිලධාරීන්ගේ තමන් දන්නා හරස් හෙළිකරන බවට ඔවුන් බියට පත්කරන බවත් පැවසේ. අදාළ නිලධාරියාව මාර්තු මාසයට පෙර සේවයෙන් ඉවත් කළහොත් නඩු පැවරීමට කටයුතු කරන බවට තර්ජනය කර ඇතැයිද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වසරක පමණ කාලයක් තුළ ජාතික පාපන්දු කණ්ඩායම් සඳහා රුපියල් කෝටි 10ක් පමණ වියදම් කර තිබියදී මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානයට පත්ව සිටියි. ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව ගොඩගැනීමට නම් පරිපාලනයේ වෙනසක් කළ යුතු බවට පාපන්දු ප‍්‍රවීණයෝ පවසති.

I වරකාගොඩ ගමගේ