2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

බෙල්ලට පදක්කම් දැම්මාට මදි

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

නේපාලයේදී පැවැති 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී (සාග්) රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ බෙල්ලේ පදක්කම් දමා පිළිගැනීමේ උත්සවවලට සහභාගි වනවාට වඩා වගකීමක් ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන්ට ඇති බව මතක් කළ යුතුය. ක‍්‍රීඩා බලධාරීන් කිසිදු පමාවකින් තොරව මේ මොහොතේ සිට කළ යුතු වන්නේ මෙම පදක්කම්ලාභීන් අතරින් වයසින් අඩු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකු තෝරාගෙන 2024 ප‍්‍රංශයේ පැවැත්වෙන XXXIII වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පහසුකම් සැලසීමයි. ශ්‍රී ලංකාව එවැනි ඉලක්කයක් තබාගෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකු ඉහළට එසවුවහොත් අවම වශයෙන් ආසියානු ක‍්‍රීඩා උළෙලේ එසේ නැත්නම් පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේ පදක්කමක් හෝ දිනාගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.

ජපානයේදී ලබන වසරේ පැවැත්වීමට නියමිත XXXII වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සූදානම් කිරීමට ශ්‍රී ලංකාව දැන් ප‍්‍රමාද වැඩිය. 2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සූදානම් කරන බවට මීට වසර කීපයකට විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ ද ඒවා පුස්සක් බවට පත්ව තිබේ. ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට මේ දක්වා කිසිදු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවක් සුදුසුකම් ලබානොමැති අතර ‘වයිල්කාඩ්’ ක‍්‍රමයෙන් කීපදෙනකුට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටියි.

මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී මලල ක‍්‍රීඩා රන් පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර වයස 25 ට අඩු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනෙක් සිටිති. දිල්ෂි කුමාරසිංහ, අරුණ දර්ශන සහ රන් පදක්කම අහිමිවුවද හිමාෂ ඒෂාන් ඒ අතර කැපී පෙනේ. තවද පසුගිය කාලයේ ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල වැනි ක‍්‍රීඩා උළෙලවලදී පදක්කම් දිනූ තවමත් පාසල් වියේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකුද තෝරාගෙන මෙම කටයුතු ආරම්භ කළ යුතුය. මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා පමණක් විශේෂඥ පුහුණුකරැවන්ගේ සේවය ලබාගත යුතුය. එහිදී ඔවුන්ගේ ඉසව්ව අනුව විශේෂ දැනුමක් ඇති පුහුණුකරැවන් තෝරාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය. 

මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විදේශවල පුහුණුව ලබාදීමට පියවර ගත්තත්. එම කටයුත්ත ඉතාමත් පරිස්සමට කළ යුතු බව මතකයේ තබාගත යුතුය. මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මීට පෙරද විදේශ පුහුණුවට විදේශගත කළද ලැබුණු ප‍්‍රගතියක් නොමැත. බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණු පැත්තක දමා රැකියා කළ බව ප‍්‍රසිද්ධ රහසකි. ඒ හේතුවෙන් එවැනි දේ නොවීමට බලධාරීන් වගබලාගත යුතුය. ඔවුන් පුහුණුව ලබන කාලය තුළ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද ජීවත්විය හැකි මට්ටමේ ගෙවීමක් කළ යුතුය. එසේ වුවහොත් ඔවුන්ට හොඳ මානසික තත්ත්වයක් තුළ පුහුණු කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ.

සුසන්තිකා ජයසිංහ යනු සමස්ත ආසියාවෙන්ම කෙටි දුර ධාවන ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනූ එක ක‍්‍රීඩිකාව බව බොහෝ දෙනකු නොදන්නා කරැණකි. ඇයට එවැනි පදක්කමකට යෑමේ අවස්ථාව උදාවූයේ අවශ්‍ය පහසුකම් සියලු දේ ලැබුණු නිසාය.     

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00