2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

දියාරුවට ගිය ක්‍රිකට් සම්මාන උළෙල

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බොහෝ දේවල් ක‍්‍රිකට් නිලවරණයේ ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරය මත තීරණය වන බව බොහෝ දෙනකුගේ චෝදනාවකි. ක‍්‍රිකට් සම්මාන ද ක‍්‍රීඩා සමාජයේ නමට සහ ඡන්දය මත තීරණය වන්නේ නම් එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පසුගිය අඟහරුවාදා බත්තරමුල්ල වෝටර් ඒජ්හිදී පැවැති 2019 ක‍්‍රිකට් සම්මාන උළෙලේදී පළමු පෙළ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රිකට් තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩක සම්මානය පිළිබඳව ක‍්‍රීඩකයන් තුළ කසුකුසුවක් පැවතුණි.

මෙම සම්මානය යුදහමුදා කණ්ඩායම නියෝජනය කළ පිට දඟපන්දු යවන ක‍්‍රීඩක දුෂාන් විමුක්තිට පිරිනැමීමට නියමිතව තිබුණද අවසන් මොහොතේ එය ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ සචිත‍්‍ර සේරසිංහට හිමිවූ බව තතු දන්නෝ පවසති. සචිත‍්‍ර සේරසිංහ යනු නැවත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්වීමට අවස්ථාවක් ලැබේ යැයි සිතිය නොහැක 32 හැවිරිදි ක‍්‍රීඩකයෙකි. ඔහු පසුගිය පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී ලකුණු 1001 ක් රැස්කරමින් කඩුලු 19 ක් දවාගෙන තිබේ. 

පිට දඟපන්දු යවන 27 හැවිරිදි දුෂාන් විමුක්ති මෙවර තරගාවලියේදී ලකුණු 869 ක් රැස්කරමින් කඩුලු 39ක් දවාගෙන තිබේ. දුෂාන්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සේරසිංහට වඩා ඉහළින් තිබේ. ඩිල්රුවන් පෙරේරාගෙන් පසුව පිට දඟපන්දු යවන්නකු සකස් කරගැනීමට නම් දුෂාන් එයට කදිම ආදේශකයෙකි. එසේ වුවද ඔහුට මේ දක්වා ජාතික සංචිතයකට ආරාධනාවක් ලැබී නොමැත.   

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ක‍්‍රිකට් සම්මාන උළෙලේ ප‍්‍රධානම සම්මානය බවට පත්වන්නේ වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානයයි. එය එසේ වුවද පසුගිය අඟහරුවාදා පැවැති සම්මාන උළෙලේදී ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සම්මානය හලා තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මෙවර එම සම්මානය අත්හිටුවීමට තීරණය කළ බවයි.

“අපි හිතුවේ පසුගිය වසරක කාලයේ වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය දෙන්න තරම් දෙයක් වුණේ නෑ. එවැනි දස්කමක් දැක්වූ ක‍්‍රීඩකයක් හිටියේ නෑ කියන එකයි අපේ මතය. ඒ නිසා මේ වසරට පමණක් ප‍්‍රධාන සම්මානය අත්හිටෙව්වා’’ යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

එම ප‍්‍රකාශයේ සත්‍යතාවක් ඇති බව නම් පැහැදිලිය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි ලෝක පූජිත ක‍්‍රීඩකයන් දෝතින් බදාගත් ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සම්මානය දස්කම් නොදැක්වූ ක‍්‍රීඩකයකුට පිරිනැමීම එම සම්මානයේ ගෞරවයට හානිදායකය. මෙම සම්මාන උළෙලේදී ඇතැම් ජාත්‍යන්තර සම්මාන ලැබූ ක‍්‍රීඩකයන් දෙස බැලීමේදී එම සම්මානද අත්හිටුවූවේ නම් හොඳ යැයි හැඟුණි. 

මෙවර සම්මාන උළෙල මේ දක්වා පැවැති ක‍්‍රිකට් සම්මාන උළෙල 10 කින් පමණ වඩාත් දියාරු සම්මාන උළෙල බවට පත්විය. මෙම තත්ත්වයට ඇතැම්විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමානයේ වැටී ඇති තත්ත්වය මෙන්ම සම්මාන උළෙලට නිල අනුග‍්‍රහකයකු නොමැති වීම බලපෑවාට සැක නැත. 

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00