2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

මසාජ් ක්ලිනික් යවන්න හැදූ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 191

“එක දිස්ත‍්‍රික්කයක ක‍්‍රිකට් පරිපාලනයේ නිලධාරියෙක් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් තිදෙනකුට සම්බාහන මධ්‍යස්ථානයක රැකියාව දෙන්න යෝජනා කරලා තිබුණා. මම එම සිද්ධිය ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඒ වනවිට හිටපු ලේකම්වරයාට පැමිණිලි කළා. එම ක‍්‍රීඩිකාවන් සිද්ධිය පිළිබඳව දුන්න ලිඛිත සාක්‍ෂි මා සතුව තිබෙනවා. මෙම සිද්ධිය හේතුවෙන් මගේ රැකියාව නැති වුණා.”

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අප්සාරි තිලකරත්න මහත්මිය පසුගියදා සමාජ මාධ්‍ය ජාලයකට ඉහත ආකාරයට හෙළිදරව් කිරීමක් හේතුවෙන් මේ වනවිට කාන්තා ක‍්‍රිකට් නැවතත් කථාබහට ලක්ව තිබේ. ඉහත සිද්ධිය මෙම වසර මුලදී මාතර දිස්ත‍්‍රික්කයේ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් යැයි කියන තිදෙනකුට මුහුණදීමට සිදුවූවකි. 

“මේ සිද්ධිය වන කාලය වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිලවරණය පැවැත්වෙනවා. ඒ නිසා අදාළ නිලධාරියාට එරෙහිව කිසිම දෙයක් කළේ නෑ” යැයි එහිදී තිලකරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝජිතයන් දෙදෙනකු මාතරට ගොස් පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක්ද ලබාදී ඇති පසුබිමක අදාළ නිලධාරියා තවදුරටත් ක‍්‍රිකට් පරිපාලනයේ කටයුතු කිරීම කනගාටුවට හේතුවකි. මෙම සිද්ධිය වඩාත් බරපතළ එකක් බවත් එවැනි සිද්ධීන්වලින් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් දැඩි අවදානමකට ලක්වන බවත් එම වාර්තාවේ සඳහන්ව ඇති බවත් වාර්තා වේ.

මාතර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රිකට් පරිපාලන නිලධාරියකු යැයි කියන අදාළ සිද්ධියේ කථා නායකයා පුහුණුකරුවකු නොවුණද ඔහු කාන්තා කණ්ඩායම් පුහුණුකිරීමට උනන්දුවක් දක්වන බව බොහෝදෙනා දන්නා කරුණකි. අදාළ ක‍්‍රීඩිකාවන් තමන්ට රැකියාවක් සොයාදෙන ලෙස එකී ප‍්‍රධානියාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එහිදී ඔහු සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවක් සොයා දිය හැකි බව පවසා ඇති බවට ක‍්‍රීඩිකාවන් පැමිණිලි කර තිබූ බව වාර්තා වේ. 

මෙම අසම්මත යෝජනාව එම ක‍්‍රීඩිකාවන් මාතර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ කටයුතු කළ පුහුණුකරුවන්ට කළ දැනුම් දීමට අනුව එම පුහුණුකරුවන් එවකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් පරිපාලන නිලධාරිනිය වූ අස්පාරි තිලකරත්න මහත්මිය දැනුවත් කර තිබේ. මෙම සිද්ධිය හෙළි කිරීම හේතුවෙන් අදාළ පුහුණුකරුවන් දෙදෙනාගේ සහ තිලකරත්න මහත්මියගේ සේවා ගිවිසුම අවසන් වීමෙන් පසුව දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි පසුව වාර්තා විය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වැරදිකරුවන්ට දඬුවම් දෙනවා වෙනුවට සිද්ධිය හෙළිකළ පුද්ගලයන්ගේ රැකියාව අහිමි කිරීම කැකිල්ලේ තීන්දුවකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේදී ක‍්‍රීඩාවේ අනාගතයට වඩා නිලවරණයේදී හිමිවන ඡන්දය පිළිබඳව පාලකයන් අවධානය යොමුකරන බව මෙවැනි සිද්ධීන්වලින් වඩාත් පැහැදිලි වේ.  

I විශේෂ ලියුම්කරුවකු විසිනි