2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය අලෙවියට ICC සහාය

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළතම ආදායම් මාර්ගය වන දේශීය ක‍්‍රිකට් තරගවල රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගනුදෙනුව සඳහා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නියෝජිතයන් කීපදෙනකුගේ සහයෝගය ලබාදීමට එකඟ වී තිබේ. රූපවාහිනී විකාශන අයිතිය විකිණීම විශාල මුදල් ගනුදෙනුවක් වීම නිසා එහිදී දූෂණ සිදුවීමට ඇති ඉඩකඩ සහ අතීතයේ සිදුවූයේ යැයි කියන අකටයුතුකම් හේතුවෙන් අඛණ්ඩව විවේචන එල්ල විය.

රූපවාහිනී අයිතිය යනු රුපියල් කෝටි ගණනින් කථා කෙරෙන ශ්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩා සංගමයට නොලැබෙන දැවැන්ත මුදලකි. එහි කොමිස් මුදලද කෝටි ගණනින් කියැවෙන බව පැවසේ. ඇතැම් ක‍්‍රීඩා ඇමැතිවරු රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගනුදෙනුව සිදුවන කාලය වනවිට ක‍්‍රිකට් අතුරු කමිටු පත්කළ බවටද චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප‍්‍රධානියකු රූපවාහිනී අයිතිය වෙනුවෙන් ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් වෙනත් ගිණුමකට යොමු කිරීමේ සිද්ධියක් පිළිබඳ පරීක්‍ෂණයක්ද මේ වනවිට ක‍්‍රියාත්මක වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙවර රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ක‍්‍රියාදාමය සඳහා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සහයෝගය ලබාගැනීමට පියවර ගනු ලැබීය.

මෙවර ලබන වසරේ (2020) අප්‍රේල් මස සිට 2023 වසරේ අපේ‍්‍රල් මස දක්වා වසර තුනක කාලයක රූපවාහිනී අයිතිය විකිණීමට නියමිතය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඩුබායිහිදී පසුගියදා මෙම ගනුදෙනුව ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙම ගනුදෙනුවට අදාළ සියලුම ලියකියවිලි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නීතිඥයන් සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් එකතුව සකස් කිරීමට නියමිතය. එම ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් කැඳවීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේදී සිදුවේ. මෙහිදී මූල්‍ය දැනුමට, තාක්‍ෂණික දැනුමට ආදී ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් වරින්වර නිලධාරීන් කීපදෙනකුගේ සේවය මෙහිදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විශ්වාසය පළ කරයි. මෙම ගනුදෙනුවේ සියලු කටයුතු ලබන ජනවාරි මස අවසන් වනවිට අවසන් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි