2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

පකිස්තාන් සංචාරය හරි

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

පාකිස්තානයේදී ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරයට කණ්ඩායම සහභාගී කරවන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරැවේ ස්ථිර කළේය.

ආරක්ෂක අමාත්‍යංශය මෙම සංචාරයට පිටත්ව යන ලෙස නිර්දේශ කර නොතිබුණ ද ආරක්‍ෂාව පිළිබඳව ප‍්‍රශ්නයක් නොමැති බවට හැඟෙන ආකාරයේ ලිපියක් පසුගිය බදාදා ක‍්‍රීඩා අමාත්‍යංශයට යොමු කර තිබූ අතර එම ලිපිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ ක‍්‍රිකට් බලධාරීන් අතට පත්විය.

එම ලිපිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ‘පනින රිලවුන්ට ඉනිමන් බැන්දා’ වැනි විය.

‘‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පාකිස්තානු තරග සංචාරය අතරතුර තර්ජනයක් තිබෙන බවට මෙම අමාත්‍යංශය වෙත කිසිදු බුද්ධි මූලාශ‍්‍රයක් හරහා මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවට කාරුණිකව දන්වා සිටිමි’’ යනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවට ජාතික බුද්ධි ප‍්‍රධානී මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) ජේ. ආර්. කුලතුංග මහතා විසින් යොමු කර තිබූ ලිපියේ සඳහන් විය.

ආරක්‍ෂක අමාත්‍යංශය පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලය වෙතින් කරුණු තුනක් යටතේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ද ඉල්ලා තිබුණි.

♦ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පාකිස්තානු රජය විසින් ඉහළ සැළකිල්ලක් දැක්විය යුතුය.
♦ විශේෂ පුහුණුවලත් පාකිස්තානු යුද හමුදාවේ කණ්ඩායම් විසින් ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.
♦ රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්‍ෂාවට සමාන ආරක්‍ෂාවක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා පාකිස්තානු රජය විසින් ලබාදිය යුතුය.

එම ලිපිය ලැබෙන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට පිටත්කර හැරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දෙගිඩියාවට පත්ව සිටියේය.

එම ලිපිය ලැබීමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසුවේ මෙවැනි අදහසකි.
“හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරලට වෙච්ච දේ අපි දැක්කනේ. මට එහෙම වෙන්න බෑ. ආරක්‍ෂක අමාත්‍යංශය කියනවා නම් කණ්ඩායම යවන්න කියලා අපි යවනවා. කණ්ඩායම පුහුණුවීම් කරලා හොඳ සූදානමකින් ඉන්නවා. ඒත් අපිට තාම ආරක්‍ෂක අමාත්‍යංශයෙන් පිළිතුරක් ලැබී නෑ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් පාකිස්තානයට ගොස් ආරක්‍ෂාව පිළිබඳව සොයා බැලූ නිලධාරීන් කිව්වේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්නයක් නෑ කියලා.

කොහොම වුණත් අපට වගකීමක් බාරගන්න බෑ. ආරක්‍ෂක අමාත්‍යංශයෙන් කණ්ඩායම යවන්න කිව්වොත් අපි යවනවා. අපි ඒකට සූදානම්” යැයි වැඩි දුරටත් ශම්මි මහතා පැවසීය.

පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ත‍්‍රස්තවාදී තර්ජන ඇති බවට අග‍්‍රාමාත්‍ය කාර්යාලය පසුගිය සතියේ ක‍්‍රීඩා අමත්‍යංශය හරහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කිරීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත විය.

එම දැනුම්දීමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට පිටත්කර හැරීමට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ලිඛිත නිර්දේශ ලබාගැනීමට ලිපියක් යොමු කළේය.

ළහිරැ තිරිමාන්නගේ නායකත්වයෙන් පාකිස්තානු සංචාරයට සහභාගි වන කණ්ඩායම මේ වන විට පුහුණුවීම්වල නිතරව සිටියි. එම කණ්ඩායමට ඇතුළත්ව සිටින යොවුන් ක‍්‍රීඩකයකු පැවසුවේ සංචාරයට සහභාගි වීම පිළිබඳව තමන්ට ප‍්‍රශ්නයක් නොමැති බවයි.

‘‘අපි කැමැත්තෙන් මේ තරගාවලියට සහභාගි වෙන්නේ. සංචිත තේරීමට පෙර ඇමැත්ත විමසීමෙන් පසුව අපෙන් කවුරුත් මුකුත් ඇහුවේ නෑ. මම කියන්නේ අපි යන්න සූදානම්’’ යැයි එම ක‍්‍රීඩකයා වැඩි දුරටත් පැවසීය.

ආරක්‍ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සංචාරයෙන් එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයන් 10 දෙනකු සංචාරයෙන් ඉවත් වූහ.

මෙම ක‍්‍රීඩකයන්ගේ ඉවත්වීම පිළිබඳව විවිධ පාර්ශව විවේචන කිරීම වඩාත් කැපී පෙනුණි. ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයට සහභාගි වන්නේ නම් ලබන අඟහරුවාදා (24 වැනිදා) පිටත්ව යෑමට නියමිතය.

පාකිස්තානය මෙම තරගාවලිය සඳහා සුපුරුදු නායක සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් පසුගිය සතිය ආරම්භයේ සංචිතයක් ද නම් කළේය.

 වරකාගොඩ ගමගේ