2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගුවන් විදුලි විකාශන අයිතියේ අත යට ගනුදෙනු එළියට

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පිළිබඳ ගුවන්විදුලි විකාශන අයිතිය අලෙවි කිරීමේදී බොහෝ අකටයුතුකම් වන බව ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණනයේදී එහි නිරුවත ප‍්‍රදර්ශනය විය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් ගුවන්විදුලි විකාශන අයිතිය ලබාදීමේදී රජයේ නීති රීති, ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු අනුමැතිය, ටෙන්ඩර් ක‍්‍රියාපටිපාටිය ඇතුළු අත්‍යඅවශ්‍ය බොහෝ දේවල් තඹ දොයිතුවකට මායිම් නොකර කටයුතු කර ඇති බව මේ වන විට පැහැදිලිය. 

“2018 ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සිදුකරන ලද තරග සංචාරය ‘රස එෆ්.එම්.’ නාලිකාව ඔස්සේ ගුවන් විදුලියෙන් විකාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රු. මිලියන 6 ක ප‍්‍රතිපාදනයක් ලබාදීමට හේතු පැහැදිලි නොවීය”

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුනක ගනුදෙනු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෝහාරික විගණනයේ පස්වැනි පරිච්ඡේදය යටතේ ‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2018 ජනවාරි 01 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලපරිජේදයෙහි ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පිළිබඳ ගුවන්විදුලි විකාශන අයිතිය අළෙවිකිරීම හා ඊට අනුරෑපව අළෙවි ආදායම් එකතුකිරීම පිළිබඳ පරීක්‍ෂා කිරීම’ යටතේ නිර්දේශයන්ට ඉහත කරුණ ඇතුළත්ව තිබේ. 

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියදී දුෂණ චෝදනා මත ඉවත් කළ පුද්ගලයකු ක‍්‍රිකට් ප‍්‍රධානියකුගේ තුරුලේ සිටිමින් ක‍්‍රිකට් ගුවන්විදුලි විකාශන අයිතිය ගණිකා වෘත්තියේ යොදවන බවට මීට පෙර බොහෝ ජනමාධ්‍යවලින් හෙළි කළ ද ඔහු අඛණ්ඩව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ අවසන් සංචාරය දක්වා කටයුතු කරගෙන ගියේය.

එම බංග්ලාදේශ සංචාරයේ රූපවාහිනී විකාශය පිළිබඳව ගනුදෙනුව සම්බන්ධයෙන් විගණන වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. (මෙම උපුටා ගැනීම සංස්කරණයෙන් තොරව පළකර තිබේ”

‘‘2017 දෙසැම්බර් 20 වන දින පැවැති 28 වැනි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය චන්දික හතුරුසිංහ මහතා ප‍්‍රධාන පුහුණුකරු ලෙස සහභාගි වන ප‍්‍රථම තරගය බැවින් ගුවන් විදුලි විස්තර විකාශනය හේතුවෙන් පැවැත්වූ Rasa FM ඔස්සේ ප‍්‍රචාරය කිරීම වෙනුවෙන් විස්තර විචාරකයන් 03 දෙනෙකු සහ තාක්‍ෂණික නිලධාරියකු බංග්ලාදේශයට යැවීම සඳහාත්, Web Streaming වෙනුවෙනුත් සහ අනෙකුත් කටයුතු වෙනුවෙනුත් රු. මිලියන 06 ක (ඇ.ඩො. 8,900) පිරිවැයක් අනුමත කර තිබුණි’’

එහිදී තරග දින 07 කට ඇ.ඩො. 150 බැගින් ඇ.ඩො. 1,050, තරග නොපැවැත්වෙන දින 08 කට ඇ.ඩො. 100 බැගින් ඇ.ඩො. 800 ක් ලෙස ඇ.ඩො. 1,850 ක් පුද්ගලයන් 04 දෙනකුට දින 15 ක වියදම ඇ.ඩො. 7,400 කි. (මෙය නවාතැන් සහ ආහාර සඳහා විය හැකිය)

ඊට අමතරව ප‍්‍රවාහන වියදම ඇ.ඩො. 500, ISDN - IDD Live වියදම ඇ.ඩො. 1,000 ලෙස සමස්ත වියදම ඇ.ඩො. 8,900 කි.

මෙම පුද්ගලයන් සිවුදෙනාට ඇතැම් විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ගුවන් ප‍්‍රවේශපත් සඳහා ද අනුග‍්‍රහය දැක්වූවා විය හැකිය. කෙසේ වෙතත් එය විගණන වාර්තාවේ සඳහන්ව නැත.

‘‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප‍්‍රකාශනවල, 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප‍්‍රකාශනයේ ගිණුම් සටහන් අංක 15.1 යටතේ ලැබිය යුතු අනුග‍්‍රාහක මුදල් ලෙස රු. 144,973,397 ක් දක්වා තිබුණි. ඒ අනුව 2018 දෙසැම්බර් 31 දිනට Sky Media Networks (Pvt) Ltd ආයතනයෙන් ලැබිය යුතු මුදල රු. 879,750 ක් සහ VIS Broadcasting (Pvt) Ltd ආයතනයෙන් ලැබිය යුතු මුදල රු. 1,173,000 ක් විය. මෙම ආයතන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දේශීය ගුවන්විදුලි විකාශන අයිතිය මිලදී ගන්නා ලද සමසත්කාරකත්වය ලබාගත් ආයතන විය. එම තත්ත්වය ද මගේ නියැදි විගණන පරීක්‍ෂාවට මෙම විෂය ලක්වීමට ඉවහල් විය’’

විගණන වාර්තාවෙන් කියවෙන ඉහත තත්ත්වය මෙම ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂා කිරීමට පසුබිම බවට පත්විය.

ගුවන්විදුලි විකාශන අයිතිය පිරිනැමීමේදී අමාත්‍ය මණ්ඩල තීරණයන් පසෙක තබා කටයුතු කර ඇති බව විගණන වාර්තාවෙන් හෙළි වේ.

‘‘මෙම පරිච්ජේදයේ 6.2 ජේදය පරිදි දේශීය ගුවන්විදුලි විකාශන අයිතිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ එළඹෙන සාකච්ඡා, සම්මුති හා නියමයන් පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ලබාදිය යුතු බව හා විශේෂයෙන් ක‍්‍රීඩාවට පමණක් කැපවූ  ඕනෑම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ ඇතිකරගන්නා සාකච්ඡා, සම්මුති, නියමයන් මත එවැනි විකාශන අයිතිය පිරිනැමීම සඳහා සුදුසුකම් ලබන බව දන්වා 2011 ජූනි 24 දින අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාදී තිබියදී එකී තීරණයට පටහැනිව ක‍්‍රීඩාව සඳහාම කැපවුණු ගුවන්විදුලි නාලිකාවක් බවට තහවුරු කර නොගෙන පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත මෙම අයිතිය පිරිනමා තිබුණි’’

ක‍්‍රිකට් ගුවන්විදුලි අයිතිය පිරිනැමීම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල තීරණය විගණන වාර්තාව මෙසේ ඉදිරිපත් කර තිබේ. 

 ‘‘මෙකී ගුවන්විදුලි විකාශන අයිතිය සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණයක් නිකුක්කර තිබුණු අතර එහි විස්තර පහත පරිදි විය.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ එවකට අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ සහ විදේශයකදී පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවල රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන අයිතීන් සම්බන්ධව අංක 05/12/2611 දරණ 2011 ජූනි 27 වැනි දිනත් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබුණි. 2011 ජූනි මස 29 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා අංක 11/1377/537/014 මගින් 2011 ජූනි 27 දිනැති සංදේශයේ 02 ඡේදයේ (අ) සහ (ආ) ලෙස සඳහන්ව තිබූ පහත දැක්වෙන යෝජනා සඳහා අනුමැතිය ලබා තිබුණි.

(අ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයකදී පවත්වනු ලබන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවල රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශනය කිරීමේ අයිතීන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ එළඹෙන සාකච්ඡා, සම්මුති, නියමයන් මත රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත පිරිනැමිය යුතුය. 

(ආ) විශේෂයෙන්ම ක‍්‍රීඩාවන්ට පමණක් කැපවුණු ඕනෑම පෞද්ගලික රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවක් ද සාකච්ඡා සම්මුති නියමයන් මත එවැනි විකාශන අයිතිය පිරිනැමීම සඳහා සුදුසුකම් ලැබෙනු ඇත.

එය එසේ නම් ‘රස එෆ්.එම්.’ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය යටතේ කුමන ගණයට වැටෙන්නේද යන ප‍්‍රශ්නයට ක‍්‍රිකට් පරිපාලනය පිළිතුරු සැපයිය යුතුය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන ඕනෑම මුදල් සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විධායක කමිටුවේ අනුමැතිය ලබාගත යුතුය. එසේ නොවුණහොත් එහි නීතිමය තත්ත්වයක් නොමැත.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් ඇතැම් තරගාවලිවල ගුවන්විදුලි අයිතිය පැවරීමේදී ක‍්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන නොමැති බව විගණන වාර්තාවේ පැහැදිළිව සඳහන් තිබේ. 

‘‘ගුවන්විදුලි විකාශන අයිතිය අළෙවි කිරීමට අදාළව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර අයිතීන් පිරිනමා තිබූ අවස්ථා නිරීක්‍ෂණය විය’’

‘‘2018 ජූනි 06 සිට ජූනි 27 දා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වූ ක‍්‍රිකට් තරග 3 වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගුවන්විදුලි විකාශන Vis Broadcasting (Pvt) Ltd පිරිනමා තිබුණු අතර එහිදී ද මිල ගණන් කැඳවීමක් සිදුකර නොතිබුණි’’

විගණන වාර්තාවේ සඳහන් ඉහත සටහනත් සමගින් වඩාත් පැහැදිළි වන්නේ ගුවන්විදුලි විකාශන අයිතිය පැවරීමේ බොහෝ අවස්ථාවලදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවයි.

‘‘ගුවන්විදුලි විකාශන අයිතිය අලෙවියට අදාළ මූලික කටයුතු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් සිදුකරන බව ප‍්‍රධාන විධායක නිලධාරී සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීන් විසින් තහවුරු කෙරුණි.

තවද සියලුම ගනුදෙනු නිල ඊමේල් සන්නිවේදනය හරහා සිදුවන බව ප‍්‍රධාන විධායක නිලධාරියා දන්වන ලදී. එසේ වුවද ඊමේල් පණිවුඩ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ රාජකාරි ඊමේල් ගිණුම හරහා නොව තම පෞද්ගලික ඊමේල් ගිණුම හරහා පෞද්ගලික මට්ටමින් සිදුකර ඇති බව නිරීක්‍ෂණය විය’’

තවද ගුවන්විදුලි විකාශනය අයිතිය පිළිබඳ කටයුතුවලදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා සිය පෞද්ගලික ඊමේල් ලිපිනයෙන් ගනුදෙනු කිරීම වඩාත් භයානක තත්ත්වයකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැවැන්ත මුදල් සම්භාරයක් නාස්ති කළ එසේත් නැත්නම් අවභාවිතය වූ ශ්‍රී ලංකාවේදී පැවැති වයස 19 න් පහළ, ශ්‍රී ලංකා ‘ඒ’, නැගී එන කණ්ඩායම් ජාත්‍යන්තර තරග සහ විවිධ අන්තර් පළාත් තරග ආදිය රූපවාහිනී සජීවි විකාශ සඳහා කළ වියදම් පිළිබඳව මෙම විගණන වාර්තාවේ අවධානය යොමු වී නොමැත.

එම විකාශනය පිටුපස ද ඉහතින් සඳහන් කළ කුප‍්‍රකට පුද්ගලයා ඉදිරියෙන් සිටින අතර ඔහුගේ කටයුතු පිළිබඳව වෙනම පරීක්‍ෂණයක් කළේ නම් මීට වඩා දූෂණ හෙළිකරගත හැකිවනු ඇත.

I සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00