2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

මැතිව්ස් - චන්දිමාල් නැති ලංකාවේ විස්සයි 20 සටන

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

අසන්ත ද මෙල් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ‘අටුව කඩා පුටුව සෑදීම’ අඛණ්ඩව කරගෙන ගිය ද ඔවුන්ට ඒ සඳහා කිසිවකුගෙන් බාධාවක් නොමැති බව පෙනේ.

නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ අවසන් සංචිතය දෙස බැලීමේදී මෙම තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වැඩිම හානිය කළ තේරීම් කමිටුව බවට පත්වනවාට සැක නැත.

එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට දුර්වල සංචිතයක් ගෙන යාම පිළිබඳව තේරීම් කමිටුවෙන් හෝ එහි සභාපතිවරයාගෙන් කිසිදු ක‍්‍රීඩා බලධාරියකු මේ දක්වා ප‍්‍රශ්න කර නොමැත.

ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට ඇතැම් ක‍්‍රීඩකයන් ඇතුළත් කිරීම පිළිබඳව තමන් තේරීම් කමිටුවෙන් විමසීමක් කළ බවයි. එවැනි ප‍්‍රශ්න කිරීමක් කළේ නම් ඒ සඳහා පියවර නොගත්තේ මන්ද යන ප‍්‍රශ්නය මතුවේ. තවද ඉදිරියේ වන වැරදි සම්බන්ධයෙන් අමාත්‍යවරයා පියවර නොගන්නා බව නම් පැහැදිළිය.

ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට හරියටම තවත් වසරක පමණ කාලයක් තිබියදී අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් විස්සයි 20 පිලෙන් එළියට දැමීම අපරාධයකි. මැතිව්ස් සහ චන්දිමාල් යනු මෙරට ක‍්‍රිකට් පිටියේදී සජීවිව සිටින ප‍්‍රබලතම පිතිකරුවන් දෙපළකි. එම දෙපළ සියලුම අංශවල ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට ප‍්‍රසාද දීමනාවක් බඳුය.

එය එසේ වුවද අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව ඔවුන්ට දස්කම් දැක්වීමට අවස්ථා දී නැවත සේවය ලබාගන්නවා වෙනුවට ඔවුන්ගේ ක‍්‍රිකට් අනාගතය විනාශ කරමින් සිටියි. ඇන්ජලෝ මැතිව්ස් යනු එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් ලැබූ ජයග‍්‍රහණවල දැවැන්තම කොටස්කරුය. ඔහු විස්සයි 20 කණ්ඩායමේ ද සිටිය යුතුම ක‍්‍රීඩකයෙකි.

එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්නේ නම් එම කණ්ඩායම් ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වීම අනිවාර්ය සාධකයකි.

එම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව තවත් විස්සයි20 තරග 17 කට පමණක් සහභාගි වන අතර එම තරග 17 තුළදී ඇන්ජලෝ මැතිව්ස් වැනි ක‍්‍රීඩකයකු නිර්මාණය කිරීමට අසන්ත ද මෙල්ට හැකියාවක් තිබෙන් නම් ඔහු විශ්මකර්මයකු විය යුතුය.

 
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලැබුණු දායකත්වය වඩාත් වැදගත් විය. කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයට මැතිව්ස් අසාර්ථක වීම වඩාත් තීරණාත්මක සාධකය බවට පත්විය.

වර්ෂාව හේතුවෙන් වැඩි කාලයක් පැවැත්වීමට නොහැකි වූ එම තරගයේදී නවසීලන්ත පිල බලාපොරොත්තු නොවූ ජයග‍්‍රහණයක් ලැබීය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පැය පහකට ආසන්න කාලයකදී එසේත් නැත්නම්  ඕවර 70 කදී ලකුණු 122 කට සීමාවීම මෙම පරාජයට ප‍්‍රධාන හේතුව බවට පත්විය. එහිදී ඇන්ජලෝ මැතිව්ස් පළමු ඉනිමේදී ලකුණු 2 කට සහ දෙවැනි ඉනිමේදී ලකුණු 7 කට දැවී ගියේය.

ලසිත් මාලිංග විස්සයි20 පිලේ නායකත්වයට පත්කර ඇති අතර නිරෝෂන් දික්වැල්ලට උප නායකත්වය ලබාදී තිබේ. මාලිංගගේ ප‍්‍රතිවාදියා වන තිසර පෙරේරා, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විනය නීති කඩකිරීම නිසා මෙම සංචිතයට ඇතුළත්ව නැති බව වාර්තා වේ. කණ්ඩායමට නවක ක‍්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව සිටීම නිසා මාලිංගට ‘වන් මෑන් ෂෝ’ එකක් දැමීමේ අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිෂ්ක ප‍්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුසංක

I  යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00