2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජාතික ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකා ආහාර දීමනාව පාලකයන්ගේ සාක්කුවල

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

නේපාලයේදී ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දකුණු අසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ක‍්‍රියාත්මක ජාතික ක‍්‍රීඩා සංචිතවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලැබෙන ආහාර දීමනාව ඇතැම් ක‍්‍රීඩාවල පාලකයන්ගේ සාක්කුවලට රිංගන බවට ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණි ලැබී තිබේ.

මෙම ගසා කෑම හේතුවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ආහාර දීමනාව ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඇතැම් ක‍්‍රීඩා සංගම්වල බලධාරීන්ගේ මෙම දූෂිත ක‍්‍රියාව සම්බන්ධයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කර තිබේ. එක පුද්ගලයකුගේ ආහාර වේලක් සඳහා ලැබෙන මුදලට වඩා අඩු ප‍්‍රමිතියෙන් කෑම ලබාදීම, රාත‍්‍රී කාලයේ නේවාසිකව නොසිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ද කෑම සඳහා මුදල් ලබාගැනීම ආදි අක‍්‍රමිකතා වාර්තා වී ඇති බව වාර්තා වේ. 

සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් මාස කීපයක සිට ක‍්‍රීඩා 27 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1000 කට අධික සංඛ්‍යාවක් සංචිත ගතව පුහුණුව ලබති. එහිදී නේවාසික පහසුකම් ලබානොගන්නා ක‍්‍රීඩකයෙක් හෝ ක‍්‍රීඩිකාවක් සඳහා මාසිකව රුපියල් 24,000 ක දීමනාවක් ලැබේ. 

මෙම සංචිතවල පෙර පුහුණුවීම් උපකරණ සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්‍ෂ 167 ක අධික මුදලක් වෙන්කර ඇති අතර ඉන් අඩකටත් වඩා වැඩි මුදලක් මේ වන විටත් ලබාදී තිබේ.

කෑම වේලෙන් ද ගසා කන නිලධාරීන් හේතුවෙන් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් වැය කරන මුදලින් උපරිම ප‍්‍රයෝජනය ලැබීම මේ වන විට ගැටලුවක් බවට පත්ව තිබේ.  

 I වරකාගොඩ ගමගේ