2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ක්‍රිකට් ආයතනය හොල්ලන තිලංග-ශම්මි ගැටුම

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 405

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති කවුරු වුණත් ඕක පාලනය කරන්නේ හිටපු සභාපතිතුමා තමයි. ඒක වෙනස් වෙන්නේ නෑ” යැයි පසුගිය ක්‍රිකට් නිලවරණයෙන් පසුව දෙනෙක් පැවසූහ. එම කියමන පසුගිය සතියේ යථාර්ථයක් බවට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී ලෙස වසරකට ආසන්න කාලයක් කටයුතු කළ අසංක ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සසළ කළ ප්‍රශ්නයක් බවට මේ වන විට පත්ව තිබේ.

1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ ප්‍රබල සාමාජිකයකු ද වන අසංක ගුරුසිංහ මහතාගේ සේවා දිගුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින ‘සුමතිපාල’ පාර්ශවය දෙකඩ කළ ගැටලුවක් බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා තනිව එක පාර්ශ්වයක් වන විට ‘සුමතිපාල’ පාර්ශ්වයේ සෙසු විධායක කමිටු සාමාජිකයන් එක පාර්ශ්වයක් බවට පත්වීම වඩාත් හානිකර තත්ත්වයක් බවට පත්ව තිබේ.

‘සුමතිපාල’ පාර්ශ්වයේ ප්‍රබලයා වන හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් සභාපති එරෙහි වීම වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය. එම පාර්ශවයේ කිසිවකු මීට පෙර සුමතිපාල මහතාට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ බවට දැනගන්නට නැත. “අපි සුමතිපාල මහතා කියන හැමදේම කරන්න ඕන නෑ. එත් ගෞරවයක් තියෙන්න ඕනේ. මේ වගේ දෙයක්වත් කරන්න බැරි නම් වැඩක් නෑ නේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් තනතුරක් දරන නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.

මෙහිදී ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නම හිටපු සභාපතිවරයා ලෙස විධායක කමිටුව නියෝජනය කරන සුමතිපාල මහතා ලේකම් මොහාන් ද සිල්වා මහතා මාර්ගයෙන් විධායක කමිටුවට යෝජනාව ඉදිරිපත් කර තිබුණි. එදින විධායක කමිටු රැස්වීමට සහභාගි වී සිටි නිලධාරීන් 11 අතරින් ශම්මි සිල්වා මහතා පමණක් විරෝධය ප්‍රකාශ කළේය. සෙසු නිලධාරීන් දසදෙනාම යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ක්‍රිකට් නිලවරණයේදී ‘රණතුංග’ පාර්ශවයෙන් ජය ලැබූ එකම නිලධාරියා වන උප සභාපති කේ. මතිවානන් මහතා ද මෙහිදී තිලංග සුමතිපාල මහතාගේ යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන්නේය. එම විධායක කමිටු රැස්වීමේදී ශම්මි සහ මතිවානන් යන මහත්වරු අතර උණුසුම් වචන හුවමාරැවක් ද ඇති වූ දැනගන්නට තිබේ.

වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා සුමතිපාල මහතාගේ නියෝග ක්‍රියාත්මක නොකරන තත්ත්වය තුළ මාස කීපයක සිට ශම්මි සිල්වා සහ සුමතිපාල පාර්ශවයේ සෙසු පිරිස අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබුණි. කෙසේ වෙතත් එය ‘අළු යට ගිනි’ මෙන් ප්‍රසිද්ධ නොවීය. “එයා දඟලනවා වැඩියි. අපිත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ඇන ගන්නෙ කියලයි” යැයි සුමතිපාල පාර්ශ්වයේ ප්‍රබලයකු වන මාතලේ පැත්තට සම්බන්ධ නිලධාරියකු මීට මාස කීපයකට පෙර සිය හිතවතකුට පවසා තිබුණි.

විධායක සභා රැස්වීමේ පසුගිය 16 වැනිදා ශම්මි සිල්වා මහතා ප්‍රසිද්ධියේ විරෝධය පළකිරීමත් සමඟ ගිනි රස්නය දැනෙන්නට විය. අසංක ගුරුසිංහ මහතා උසස් දක්‍ෂතා වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ සේවය කළ කාල තුළ දැනෙන දෙයක් නොකළ බවට එහිදී ශම්මි සිල්වා මහතා චෝදනා කර තිබේ.

ශම්මි සිල්වා මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත උස්සා තැබීමේ සැබෑ උවමනාවක් ඇති බව ඔහු ළගින් ඇසුරැ කරන්නෝ පවසති. ඒ හේතුවෙන් සභාපතිවරයා ලෙස ඒ මහතා සුපිරි වැටුප් ලබන බොහෝ දෙනකුගේ සේවය පිළිබඳව අසතුටින් පසුවිය. 

“අපිට ඕනෙ ක්‍රිකට් උස්සා තියන්න. එයා හතුරුසිංහ ද වෙන කවුරුහරිද ප්‍රශ්නයක් නෑ. ගෙවන ගානට වැඩ වෙන්න ඕනේ” යැයි සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට කෙළින් කියන ශම්මි සිල්වා වරෙක පැවසීය.

අසංක ගුරුසිංහ මහතා පසුගිය වසරේ අගෝස්තු මස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි උසස් දක්‍ෂතා වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු ආරම්භ කළ අතර කාන්තා ක්‍රිකට් ඇතුළු අංශ රැසක් ද එයින් ආවරණය විය.
තවද ගුරුසිංහ මහතා ක්‍රිකට් නිලවරණය අවස්ථාවේදී ‘සුමතිපාල’ සහ ‘රණතුංග’ යන පාර්ශව දෙකටම සහය දැක්වූ බවට ද ඇතැම්හු චෝදනා කරති.

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉවත්කිරීමේ සටනේ ද ශම්මි සිල්වා මහතා පෙරමුණේ සිටියි. ඒ මහතා මෙම සිද්ධියත් සමඟ පසු පසිනු ඇති බවට බොහෝදෙනා විශ්වාස කරති. එසේ වුවහොත් හතුරුසිංහට ද ඉදිරි වසර දෙකක පමණ කාලය වැඩ කිරීමේ අවස්ථාව උදාවීමට ඉඩ තිබේ.

කොන්ත්‍රාත් පදනම මත සේවය ලබාගෙන මේ වනවිට පුරප්පාඩු වී ඇති සියලුම තනතුරු සඳහා ප්‍රසිද්ධ දැක්වීම් පළකර නියමිත ක්‍රියාපටිපාටියට අනුව බඳවාගැනීම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය අඟහරැවාදා ක්‍රිකට් සභාපතිවරයාට ලිඛිතව නියෝග කර තිබුණි.

I වරකාගොඩ ගමගේ