2023 මැයි 07 වන ඉරිදා

ටෙස්ට් ක්‍රිකට් පිටියේ පන්දුවෙන් ලෝක වාර්තා තැබූ ප්‍රභාත් ජයසූරිය

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 117

''ලෝක වාර්තාව මගේ කරන්න නම් තරග දෙකේදී කඩුලු 17ක් දවාගත යුතු බව දැනගෙන හිටියා. කණ්ඩායමට උපරිමය ලබාදීමේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝක වාර්තාවට යන්න හැකි වුණා.'' යැයි ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ප‍්‍රභාත් ජයසූරිය පැවසීය. 

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ප‍්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීය. 

ප‍්‍රභාත් වසර 71ක් පැරණි වාර්තාවක් බිඳ දැමීම මෙහිදී කැපී පෙනුණි. 

ප‍්‍රභාත් මේ වනවිට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50ක් දවාගෙන සිටින අතර මීට පෙර බටහිර කොදෙව් හිටපු දඟ පන්දු යවන ක‍්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් 1951 වසරේ ඔහුගේ 8 වැනි තරගයේදී කඩුලු 50 සම්පූර්ණ කරමින් පැරණි වාර්තාවට හිමිකම් කීය. 
ඉනිමකදී පන්දු යවන්නන් හතරක් පමණ පන්දු යවන විට කඩුලු පහක් දවා ගැනීමට බොහෝ වෙලාවට එක පන්දු යවන්නකුට පමණක් අවස්ථාව ලැබෙන බවත් ලෝක වාර්තාව පිහිටුවූ ඉනිමේදී රමේෂ් මෙන්ඩිස්ගේ සහයක පන්දු යවන්නා වෙමින් ඉලක්කයට ගිය බවත් ප‍්‍රභාත් කීය.  

මාතලේ ක‍්‍රිස්තුරාජ විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ කළ ප‍්‍රභාත් ජයසූරිය පසුව කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත්ව ජාතික කණ්ඩායමට පිවිසීමට පන්නරය ලබා ගත්තේය. 

‘‘ලුම්බිණි විද්‍යාලයට පැමිණීමෙන් පසුව වැඩි තරග සංඛ්‍යාවකට ක‍්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මාතලේ ක‍්‍රීඩා කරන විට මැටින් තරගවලට සහභාගි වුවද ලුම්බිණියේදී තණ තීරුවේ ක‍්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණා. පළමු කොටසේ ක‍්‍රීඩා කළ නිසා තරගකාරීත්වයට හුරුවෙන්න අවස්ථාව හිමිවුණා.

ඒ වගේම කොළඹ ආවට පස්සෙ බෝඩිම්වල හිටියා. පාසල් කණ්ඩායමේ සහෝදර ක‍්‍රීඩකයන්ගේ ගෙවල්වල නැවතුණා. එවැනි කාලයක් ගත කරලා තමයි දැන් ඉන්න තැනට ආවේ.

ඉන් පසුව කොල්ට්ස් ක‍්‍රීඩා සමාජයට වසර 5 ක් ක‍්‍රීඩා කළා. එස්.එස්.සී එකට වසර 4 ක සිට ක‍්‍රීඩා කරනවා. ලෝක වාර්තාව පිහිටුවන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.’’

31 හැවිදිරි ප‍්‍රභාත් ටෙස්ට් වරම් ලැබුවේ 2022 වසරේය. ඒ ඔහුට වයස අවුරුදු 30 දීය. ඔහුට අවස්ථාව දීමට කල්ගත කළ බවට විවේචනයක් තිබුණි. ඒ පිළිබඳව ප‍්‍රභාත් මෙසේ පැවසීය.   

‘‘ක‍්‍රීඩකයෙක්ට අවස්ථාව ලැබෙන වෙලාවක් තියෙනවා. මටත් ඒ වෙලාවේ වෙන්න ඇති අවස්ථාව ලැබුණේ. ලැබුණු අවස්ථාවේ සියයට සියයක්ම මහන්සි වෙලා ක‍්‍රීඩා කරන එකයි වැදගත් වෙන්නේ. 

පොඩි කාලයේ සිටම මගේ මව සුදර්ශනි පෙරේරා සහ පියා එන්.ජී. ජයසූරිය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විශාල සහයෝගයක් දැක්වුවා. විවාහ වීමෙන් පසුව බිරිඳ රනීෂා මිරුන්ඩෝ ද විශාල සහයෝගයක් දක්වනවා.’’ යැයි ප‍්‍රභාත් කීය.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට හැකි උපරිමයෙන්ම ක‍්‍රීඩා කර ලොව අංක එකේ කණ්ඩායම වූ පසු එම කණ්ඩායමේ සාමාජිකයෙක් වීම සිය අනාගත බලාපොරොත්තුව බවද ප‍්‍රභාත් වැඩිදුරටත් පැවසීය. 

I සටහන: යොහාන් භාසුර 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00