2023 ජනවාරි 22 වන ඉරිදා

සුන්වූ බලාපොරොත්තු මැද හුදකලා නොවූ දසුන්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 308

ඉන්දීය ජනමාධ්‍ය විදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වර්ණනා කරන්නේ ඉතාමත් කලාතුරකිනි. එවැනි දුර්ලභ අවස්ථාවක් පසුගිදා දැකබලා ගැනීමට ලෝක ක‍්‍රිකට් ලෝලීන්ට උදාවිය.  ඉන්දියාවට එරෙහිව පසුගිය සතියේ අවසන් වූ තරග සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක දසුන් ශානක පිත්තෙන් දැක්වූ වික‍්‍රමය හේතුවෙන් පසුගිය දිනවල ඉන්දීය ජනමාධ්‍යවල වර්ණනාවට ලක්වීම දසුන්ගේ ක‍්‍රිකට් දිවියේ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලැබූ භාග්‍යයකි.

ඉන්දියාවේ ප‍්‍රධානතම පුවත්පත් දෙකක් වන ‘හින්දුස්ථාන් ටයිම්ස්’ සහ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ දසුන් වෙනුවෙන් විශාල ඉඩක් වෙන්කරමින් ඇගයීමට ලක්කිරීම වඩාත් කැපී පෙනුණි. එම පුවත්පත්වල ලියුම්කරුවන් පවසන්නේ දසුන්ගේ පිතිහරඹය විශ්මය දනවන බවත් ඔහු නිරන්තරයෙන් ඉන්දියාවට එරෙහිව සාර්ථක වීම සුවිශේෂි බවත්ය.  

''දසුන් අයි.පී.එල්. වෙන්දේසිය අවසන් වූ පසුව මේ ප‍්‍රහාරය දියත් කිරීම කණ්ඩායම් හිමිකරුවන්ගේ වාසනාවට සිදුවුණේ. එහෙම නොවුණා නම් දසුන්ව ගැනීමට ඔවුන්ට සල්ලි මදිවෙනවා'' යැයි නිරන්තරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක‍්‍රීඩකයන් විවේචනය කරන හිටපු ඉන්දීය සුපිරි ක‍්‍රීඩක ගෞතම් ගාම්බීර් පවසා තිබුණි. 

දසුන් පළමු විස්සයි20 තරගයේදී පන්දු 27 කින් ලකුණු 45ක් ද, දෙවැනි තරගයේදී පන්දු 22 කින් ලකුණු 56ක් ද, පළමු එක්දින තරගයේදී පන්දු 88 කින් නොදැවී ලකුණු 108ක් රැස්කරමින් සමස්ත ඉන්දියාවම විමතියට පත්කළේය. කෙසේ වෙතත් එම ඉන්දීය සංචාරයේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 317 ක දැවැන්ත පරාජයත් සමඟ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලු රුසකට මුහුණ දීමට සිදුව තිබේ. 

ඉන්දියාව ලැබූ එම ජයග‍්‍රහණය වසර 50 කට ආසන්න ඉතිහාසයට හිමිකම් කියන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විශාලතම ජයග‍්‍රහණය බවට පත්විය. නවසීලන්තය 2008 වසරේ අයර්ලන්තයට එරෙහිව ලැබූ ලකුණු 290ක ජයග‍්‍රහණය මීට පෙර විශාලතම එක්දින ජාත්‍යන්තර ජයග‍්‍රහණය ලෙස සටහන්ව තිබුණි. 

ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙමින්  ඕවර 50 යේදී ලකුණු 390 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල  ඕවර 22 කදී ලකුණු 73 කට සීමාවිය. එම ලකුණු 73 වසර 48 කට ආසන්න ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වේ. ශ්‍රී ලංකාවට මීට පෙර 2012 වසරේ දකුණු අප‍්‍රිකාව හමුවේ ලකුණු 43 කට, 1986 වසරේ  බටහිර ඉන්දීය කොදෙව් හමුවේ ලකුණු 55 කට සහ 2014 වසරේ එංගලන්තය හමුවේ ලකුණු 67 කට දැවී ගොස් තිබුණි. 

එක්දින තරගාවලියට පෙර පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු දෙකකින් පරාජය වූ අතර දෙවැනි තරගය ලකුණු 16 කින් ජය ලැබීය. එක්දින තරගාවලියේ තරග තුන පරාජය වීමත් සමඟ ඇතැමුන්ට විස්සයි20 තරගාවලියේ සාර්ථකත්වය අමතක විය. 

ඉන්දියානු පිලට එරෙහිව ලොව ඕනෑම ක‍්‍රීඩාංගණයකදී ජය ලැබීම එතරම් පහසු කාර්යක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව පූනේහිදී ලැබූ විස්සයි20 ජයග‍්‍රහණයද අමතක නොකළ යුතුය.

අවසන් එක්දින තරගයේ පරාජය පිළිබඳව කරුණු දක්වන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී තිබූ අතර එම කරුණු දැක්වීමට කණ්ඩායමේ නායක, ප‍්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටුවේ ප‍්‍රකාශ ද ඇතුළත් විය යුතු බවට ද වැඩි දුරටත් දැනුම් දී තිබේ. 

ශ්‍රී ලංකාව මෙයට වඩා ‘මාර පරාජය’ ලබා තිබණ ද අවස්ථා දෙක තුනකදී හැරෙන්නට පරාජයට හේතු විමසා නොමැති අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්ව සිටින පීඩනය මෙම දැනුම් දීමෙන් පැහැදිලි වේ. 

ක‍්‍රීඩා අමාත්‍යංශය තුළින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමු කරන පීඩනය ජාතික ක‍්‍රිකට් කණ්ඩායමටද විතැන් වී ඇති බව එම දැනුම්දීමෙන් පැහැදිලි වේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියකුගේ මැදිහත්වීමෙන් අදාළ පරාජයට හේතු විමසීමට පෙර ක‍්‍රිකට් ආයතනය ඉස්සර වී මෙම හේතු විමසීමේ ලිපිය යොමුකළා විය හැකිය. කෙසේ වුවත් මෙම තත්වය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එතරම් සුබදායි නොවේ. 

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ පංච පුද්ගල කමිටු වාර්තා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ මාතෘකාව බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර සුහදතාවයද අවම මට්ටමක ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. එම දුර්වලතාවයෙන් ප‍්‍රයෝජන ගන්නා ඇතැම් ක‍්‍රීඩා නිලධාරීන් ඇතැම් ක‍්‍රීඩකයන් ‘මයිනන්’ බවට පත්කරගෙන ඇති බව වාර්තා වේ. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරදීම ශ්‍රී ලංකාවේ සිටි ඇතැමුන්ට ලැබුණු තොරතුරු වලට අනුව ඔවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන විටම චෝදනා ගොනුකර තිබුණි. එම කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳව උපදෙස් සඳහා වාර්තාව නීතිපතිවරයාට යොමුකර තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සම්බන්ධයෙන් එම කමිටු වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩා අමාත්‍යංශයට ලිපියක් ද යොමු කළ බව ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

බලධාරීන් කළ යුත්තේ රටේ ජනතාවගේ ‘ආගම’ බඳු ක‍්‍රිකට් ක‍්‍රීඩාව රුකගැනීම මිස එම ක‍්‍රීඩාවේ බලය ඇල්ලීම සඳහා කුමන්ත‍්‍රණ කිරීම නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.  

I සටහන: යොහාන් භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00