2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

විස්සයි 20 ලෝක කුසලානෙට අලුත් නීති

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 358

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නීති සම්පාදකයන් වන එංගලන්තයේ මාර්ලිබෝන් ක‍්‍රීඩා සමාජය පසුගියදා ක‍්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීම නිසා ඕස්ට්‍රේලියාවේදී මේ මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ට තරගකාරීත්වයට අමතරව තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ. ‘මාර්ලිබෝන්’ ක‍්‍රිකට් නීති සම්පාදකයන් මෙම අවස්ථාවේදී ප‍්‍රධාන වශයෙන් නීති නවයක වෙනස්කම් කර තිබුණද අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) එම වෙනස්කම්වලින් 7ක් පමණක් ඊයේ (1) සිට ක‍්‍රියාත්මක කර තිබේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2017 නීති සංග‍්‍රහයේ යාවත්කාලීන කිරීමේ 3 වැනි සංස්කරණය ලෙස හඳුන්වන මෙම වෙනස්කම් හිටපු ඉන්දීය නායකයකු වන සෞරව් ගංගුලි මහතාගේ ප‍්‍රධානත්වය දරන අයි.සී.සී. පිරිමි ක‍්‍රිකට් කමිටුවේ නිර්දේශවලට ප‍්‍රධාන විධායක කමිටුවේ අනුමැතිය පසුගිය සතියේ ලැබුණි. 

නීති සංශෝධනයත් සමඟ ක‍්‍රීඩකයන්ට ඒ සඳහා අනුගතවීමට කාලයක් ගත වන අතර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් වැනි ප‍්‍රධාන තරගාවලියකදී එවැනි අනුගත වීමට යෑම එතරම් පහසු නොවේ.

නියමිත කාලයේදී ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකළහොත් පන්දු රකින්නන්ගේ සීමා පනවමින් මීට සති කීපයකට පෙර ක‍්‍රිකට් නීති සංශෝධනය කිරීමෙන් ආසියානු කුසලාන ක‍්‍රිකට් ශූරතාවලියේදී ඇතැම් කණ්ඩායම්වල නායකයන් අපහසුතාවට පත්වූ ආකාරය දැකගත හැකිවිය. 

ලොවපුරා පැවැති ‘කොවිඩ්’ අවදානම හේතුවෙන් ඛේටය තවරා පන්දුව ඔප දැමීම තාවකාලිකව තහනම් කර තිබුණද එම තහනම ස්ථිර තහනමක් බවට පත්කිරීමට ‘මාර්ලිබෝන්’ ගත් තීරණයට අයි.සී.සී.ද එකඟ වී තිබේ. ඒ අනුව දහඩිය පමණක් යොදාගෙන පන්දුව ඔප දැමීමේ අවස්ථාව ක‍්‍රීඩකයන්ට අවස්ථාව තිබේ. 

උඩ පන්දුවක් රැකගන්නා අවස්ථාවේදී පිතිකරුවන් දෙදෙනා අන්ත මාරුකරගත් පසු නොදැවී සිටි පිතිකරුට පන්දුවට පහරදීමට තිබූ අවස්ථාව අත්හිටුවමින් පිතිකරුවන් අන්ත මාරු වුවද නව පිතිකරු පන්දුවට පහරදීම අනිවාර්ය කර තිබේ.  
මෙම මස 1 වැනිදා සිට බලාත්මක වන ක‍්‍රිකට් නීති පහත දැක්වේ. 

• උඩ පන්දුවක් රැකගන්නා අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා අන්තයන් මාරු කරගෙන තිබුණද නව පිතිකරු පන්දුවට පහර දිය යුතුය. 
• පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය තාවකාලික පියවරක් ලෙස වසර දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ක‍්‍රියාත්මක කළ අතර එම තහනම ස්ථිර කෙරේ. 
• පිතිකරුවෙකු ටෙස්ට් සහ එක්දින තරගවලදී මිනිත්තු දෙකක් ඇතුළත පන්දුවට පහර දීමට සූදානම් විය යුතු අතර විස්සයි20 තරගවල තත්ත්පර 90ක වත්මන් සීමාව නොවෙනස්ව පවතී.
• පිතිකරුට පන්දුව පහර දීමේ අයිතිය: පන්දුව තණතීරුවෙන් එළියේ පතිත වුවහොත් පිතිකරු පන්දුවට පහර දෙන අවස්ථාවේදී පිතිකරුගේ පිත්ත හෝ ඔහුගේ ශරීරයේ කොටසක් හෝ තණතිල්ල මත තිබිය යුතුය. එසේ නොවේ නම් පන්දුව අජීවි පන්දුවක් ලෙස විනිසුරුට සංඥා කළ හැකිය.
පන්දුව තණතීරුවෙන් පිටත පතිත වුවහොත් එසේ නැත්නම් පිතිකරුවාට තණතීරුවෙන් ඉවත් වීමට බලකරන ඕනෑම පන්දුවක් නිපන්දුවක් ලෙස විනිසුරු සංඥා කළ යුතුය.
• පන්දු රකින කණ්ඩායමේ නීති විරෝධී චලන: පන්දු යවන්නා පන්දු යැවීමට දිව යන අතරතුර ඕනෑම අසාධාරණ සහ හිතාමතා චලනයක් විනිසුරුවරුට අජීවි පන්දුවක් (ඩෙඩ් බෝල්) ලෙස සංඥා කිරීමට අමතරව දඬුවම් ලකුණු 5ක් ප‍්‍රදානය කිරීමේ අවස්ථාව තිබේ.
• මන්කාඩ් නීතියේ වෙනස: මන්කාඩ් දවාගැනීම නීති විරෝධී ක‍්‍රීඩා කිරීමක් ලෙස මින් ඉදිරියට සැළකෙන්නේ නැත. එය දුවද්දී දැවී යෑමක් ලෙස සැළකෙයි. මන්කාඩ් නීතිය (41 වැනි නීතිය) දුවද්දී දැවී යෑමක් ලෙස 38 වැනි නීතිය ලෙස වෙනස් වෙයි.
• පන්දු යවන්නකු තම පන්දු යැවීමේ ඉසව්වට පිවිසීමට පෙර පිතිකරු දුවද්දී දැවීයාමට උත්සාහ කරමින් පන්දුව විසි කළහොත් එය අජීවී පන්දුවක් (ඩෙඩ් බෝල්) වනු ඇත.

මාර්ලිබෝන් ක‍්‍රීඩා සමාජය අතිරේක ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් සහ වයිඩ් පන්දුව සම්බන්ධයෙන් නීතිවල වෙනස්කම් කර තිබුණද අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව එම වෙනස්කම් පිළිබඳව අවධානය යොමු නොකිරීම කැපී පෙනේ.

 සටහන: යොහාන් භාසුර